Thursday, April 18, 2013

රතු කැකුළු හාලේ බත්,මාළු ඇඹුල් තියල් සමඟ උදේ,දවල්,රාත්‍රී කෑමට


සමරසිංහ ගුණසේකර නම් සුන්දර මනුෂ්‍යයාගේ දැනුමේ සහ අත්දැකිම් වල එකතුවකින් උපන් අපේ ගම මාතර නම් කෘතියේ තවත් කොටසක් ඔබේ රසවින්දනය සඳහා  මම මෙසේ අකුරු කරමි.

   -රතු කැකුළු හාලේ බත්,මාළු ඇඹුල් තියල් සමඟ උදේ,දවල්,රාත්‍රි කෑමට- නැමති මෙම කොටස කෙතරම් නම් රසවත්ද කියා මට වඩාත් දැනෙන්නේ එහි තිබෙන රසය අදටත් අපි භුක්ති විඳින බැවිනි. එම නිසා ඒ කොටස තුල තිබෙන සෑම වචනයකටම මම ඇලුම් කරමි.

      අපේ කම පිළිබිඹු වන තවත් රසබර කොටසකි. රතු කැකුළු හාලේ බත්, මාළු ඇඹුල් තියල් සමඟ උදේ, දවල්, රාත්‍රි කෑමට මේ වගේ දැන්විම් පුවරු ඇති හා නැති මාතර බත් කඩ, මාතර හෝටල්, මාතර ආපන ශාලා ලංකාවේ ලොකු කුඩා ඕනෑම නගරයක දකින්නට පුළුවන. ලංකාවේ විතරක් නොව වෙනත් දේස දීපංකරවලද වෙන එකක් තියා මාතර සිට කිලෝ මිටර් තුන් ලක්ස අසු හතර දහස් හාර සියයක් දුරින් පිහිටි හඳේදද මාතර මුදලාලි කෙනෙකු මාතර හෝටලක් දමාගන සිටිනවා යැයි 1960 දී හා පුරා කියා හඳට ගොඩ බැස්ස නීල් ආම්ස්ට්‍රොං මහත්තයා කියා තිබෙන විත්තිය ඒ දවස්වල පත්තරවලද පළවී තිබුණේය.
ඒ පිළිබඳව කථාව එහෙමම තිබියදී අපි රතු කැතුළු බතේ රසය, හා එක්වෙමු.

      අපේ රටවැසියන්ගේ ප්‍රධානතම ආහාරය බත වුණත් මේ බත උයාගන්න සහල් හා බත් උයන විදිය ආදිය පිළිබඳවත් මේ පුංචි රටේ නා නා ප්‍රකාර වෙනස්කම් තිබෙන බව කවුරුත් දනිති. කොළඹ පළාතේ වාගේ උඩරට හා වෙනත් පළාත්වල වැඩිපුර කන්නට ගන්නේ තම්බා කොටාගත් හාල්වලින් උයන බතයි.
මාතර රතු කැකුළු බතට කොටා ගන්නා සහලට වී තම්බා ගැනිල්ලක් නැත. ඒ නිසා බත අලුත්ය. කිරි රසය. කුරුට්ට ද රතු පාටට දිලිහි දිලිහි තිබේ. දියවැඩියාකාරයින්ට කුරුට්ටත් එක්ක රතු හාල් බත් හොඳ යැයි දොස්තර මහත්වරුනුත් රෙකමදාරු කළාට පසුව මාතර රතු කැකුළු හාලට ඉල්ලුම වැඩිවී, කොළඹ පළාතේ සුදු හාල් ද රතුපාට කර විකුණන තැන්ද තිබුණත් මාතර මිනිස්සු ඉස්සර සිටම කෑවේ රතු කැකුළු හාලේ බත්ය.

අතීතයේ රතු හාලේ බතක් උයා ගත් ආකාරය පිළිබඳව කතුවරයා හරි අපුරුවට කියා දි ඇත.
       මුලින්ම කරන්නේ සහල් කුල්ලෙන් පොලා පසුව නෑඹිලියෙන් සහල් ගරා ගැනිමයි. නියෙමට කැකුළු බතක් ඉදෙන්නට නම් පදමට වතුර තැබිය යුතුමය. බවලත් අය හැමදාමත් මැද ඇඟිල්ල තියා පදමට වතුර තියන නිසා බවලත් අයට චංගුලි පඤ්ඤා යැයි නමක්ද පටබැඳ තිබේ. ඒ එසේ මෙසේ තැනක නොව බුදුන් දවස විසු බවලත් අය ගැන ලියු ථේරි ගාථාවලය. තුන්සිය හැටපස් දවසෙම හාල්වලට පදමට වතුර තියන කොට මැද ඇඟිලි දෙකෙන් වතුර මනින නිසා ද, ඇඟිලි දෙකෙන් බත් ඇට පොඩි කරන්නේ නැතුව බත ඉදුණා දැයි කියන්නට බැරි නිසා ද ඇඟිලි දෙකේ නුවණැත්ති හෙවත් චංගුලි පඤ්ඤා යැයි නමක් පටබැඳ තිබෙන විත්තිය ථේරි තතාවේ තික නිපාතයේ සෝමා ථේරි ගාථාවේ දැක්වේ.

      හරි පදමට වතුර නොතිබ්බොත් එක්කෝ වතුර වැඩි වි බත බෙරි වෙන්නටද එහෙම නැත්නම් වතුර මදි වී බත රොස් වන්නට හෝ ඇට්ටකුණා වන්නටද ඉඩ තියෙන විත්තිය මාතර බලවත්තු දනිති.
පදමට වතුර තැබු බත ළිපේ තියා නිකම් බලාගෙන සිටියොත් හාමතේ ඉන්නට සිදුවන විත්තිය ද මාතර ගැහැණු දනිති. ඒ නිසා පදමට ගින්දර අඩු වැඩි කිරීම, බත ඉදීගන එනකොට කැඳ වතුර බේරා හැඳි කුරෙන් හැඳි ගා මඳ ගින්නේ බත ඉදෙන්නට තැබිය යුතුය. බත ඉදුණාට පසු බත් වට්ටියේ දමා බත නිවා නොගත්තොත් බත ලඩ වෙන්නට ඉඩ තිබේ.

කැඳ කිව්වම මටත් පුංචි දෙයක් මතකයට නැඟුණාය. අපි පුංචි කාලේ අපේ අම්මා බතෙන් බේරා ගත් කැඳ වතුර  අපිට පොවයි.
      කැකුළු බත් ගැන එහෙම ලියවෙද්දී මාතර ඇඹුල් තියල් ගැනද නොකියම බැරිය.

මඩොල් දූවේ උපාලි ගිනිවැල්ල,ධර්මසිංහ ඉස්කොල මහත්තයාගේ ගෙදර නවත්වා සිටි කාලයේ හොරෙන් පැන ගිහින් බල ඔරුකාරයන් එක්ක මුහුදු ගිය වෙලාවේ පොල් සම්බලත් බලමාළු ඇඹුල් තියලත් එක්ක උදේට  කෑ බත මාර්ටින් වික්‍රමසිංහ මහත්තයට මතක් වෙන්න ඇත්තේ පොත ලියන කාලයේ කොළඹ පදිංචිව හිටියත් පුංචි කාලේ කොග්ගල දී කෑ බල මාළු ඇඹුල් තියල් මතක් වෙලා වෙන්නට ඇත.
මාතර අය මාළුවක් කියන්නේ මුහුදෙන් නැත්නම් ගඟෙන් අල්ලාගත් මාළුනවන්ට විතරය. උයාගත් එළවළුවකට මාතර අය වෑංජනයක් කියා කියනවා මිසක් මාළුවක් කියා කියන්නේ නැත. සමහර අයට කරිජ්ජෙන් ඇල්ලුවත් මිරිජ්ජෙන් ඇල්ලුවත් කොයි මාළුවත් මාළුය. මාතර අයට කිරට, මිරිසට ඇඹුලට, ඇඹුල් තියලට, හොද්දට ඉස්ටුවට ඔබින මාළු ජාති එකකට එකක් වෙනස්ය.

       ඇඹුල් තියලට ගන්නේ බල මාළුය. එහෙම නැත්නම් අලගොඩුවන්ය. ඒ දෙකම නැත්නම් ඇටවල්ලන්ය. ඒත් නැත්නම් කෙලවල්ලන්ය. කොළඹ අයට බොහෝම වටිනා කියන තෝර මාළු මාතර අයට කිරට උයන ලෙඩුන්ට ගැළපෙන මාළුවකි. යකඩ ඇනයා හෙවත් කලවැන්නා, හුරුල්ලා,  අලගොඩුවා, බලයා, ඇටවල්ලා, කෙලවල්ලා මිරිසට ඇඹුලට ගැළපෙන ලේ මාළුය.

     කොළඹ අයට සාලයා වගේ මාතර අපේ පොදු ජනයාගේ මාළුවා ලාග්ගාය. කොයි මාළුව කෑවත් කොරඹුරු මාළු කනවිට බොහෝම පරෙස්සම් වෙන්න ඕනෑ විත්තිය මාතර මිනිස්සු දනිති.උණ ගහේ මල් හැදෙන කාලෙට කොරඹුරු මාළුව කනවා නම් හොඳට සුද්ද බුද්ද නොකර කෑවොත් කාපු මාළුත් එක්කම වැලිගං යන්නට වෙන විත්තිය මාතර මිනිස්සු දනිති. ජපානයේ ද මේ වගේ විස එත් බොහොම රස මාළුවෙකු සිටින විත්තිය සූප සාත්තර පොත්වල තිබේ.මේ ජපන් කොරඹුරුවාට ජපන්නු කියන්නේ Fugy කියාය.
    
     මිරිජ්ජ මාළු හරි කරිජ්ජ මාළු හරි ගැන කියන විට ලුනිජ්ජ මතක් වී කටට කෙළ උනයි. බලයා ,හුරුල්ලා වගේ කරිජ්ජ මාළුවකට පදමට ලුණු ,ගොරකා දමා හදාගන්නා ජාඩිවල ඉස්මට කියන නම ලුනිජ්ජය. ලුනිජ්ජ දමා හදාගත් පොල් මැල්ලුමක් එක්ක තම්බාගත් කොස් කිව්වාම වංකොස්,අටුකොස් වගේ නොයෙකුත් කොස් ජාති තිබුණත් මේ කිව්වේ පදමට පැහැණු හෙරලි කොස් ගැනය.
    ඇඹුල් තියල වගේම මාතර මී කිරි හා කටුවන කිතුල් පැණි ගැනත් කථා නොකරොත් අඩුපාඩුවකි.
    
 අපේ කතෘතුමා මීකිරි ගැනද මෙසේ ලියා ඇත.
        තිස්සමාරාමය, අම්බලන්තොට වගේ පළාත්වලින් ගෙන එන මීකිරි හැරෙන්නට මාතර අවට ගම්වලද මී දෙනුන්ගේ කිරි දොවාගෙන මිකිරි සාදා ගනිති.
    
         හාල් කිරි, ජුල් කිරි, කිරල කිරි වගේ තවත් නා නා ප්‍රකාර කිරි ජාති කන මාතර මිනිස්සු මීකිරි කන විදියේ අහුපැවතක් ද තිබේ.
    
        අනික් කොයි කවුරුත් පොල් පැණිත් එක්ක නැත්නම් කිතුල් පැණිත් එක්ක නැත්නම් සිනිත් එක්ක මීකිරි කෑවත් මීකිරි කන විට මාතර කට්ටියට රතු කැකුලු බත් මිටක් මුහුකර ගන්නට ඕනෑය. බත් එක්ක වගේම හබල පෙති එක්කත් මාතර අය කිරි කති. ඒ වගේම තම්බපු කොස් ටිකක් එහෙම නැත්නම් කිරි හොදි ටිකක් එක්ක එහෙම නැත්නම් මාලු හොදි ටිකක් එක්කත් කිරි කන්නට කැමතිය.
     
        මාතර මිනිස්සු ඉස්සර කිරි කෑවේ ලොකු බොකු පිඟන්වලය.යමක් කමක් ඇති තැනක මඟුල් ගෙදරක නම් ඉස්සරහ කෑමට එක පිඟානයි. බත් කන්න එක පිඟානයි. කිරි කන්න බොකු පිඟානයි ලෙස මඟුල් මේසයේ පිඟන් තට්ටු තුනකි. එක කිරි හට්ටිය දෙදෙනෙකුට සෑහේ. වැඩිම වුණොත් තුන් දෙනෙකුටය.
     
       වරක් කොළඹ පැත්තේ මනමාලයෙකු මාතර පැත්තේ මනමාලියක් කැඳවාගෙන ආ මග ගමනට මමද එකතු වුණෙමි.මාතරින් ගෙනා කද මල්ලේ කටුවන කිතුල් පැණි මුල් තුන හතරක්ද මීකිරි හට්ටි දහයක්ද දොළහක්ද තිබුණේය. දවල් මංගල භෝජනයෙන් පසු අතුරුපසට තිබුණේ මාතරින් ගෙනා මීකිරි ය. ඒත් කිරි දමා තිබුණේ කොළඹ පන්නෙට පළතුරු සලාද නැත්නම් අයිස්ක්‍රිම් කන්නට ගන්නා පුංචි බුද්ධ පුජා කෝපපලවය.
     
       මොකද මේ? බුද්ධ පුජාවද? මාතරින් ආපු කෙනෙක් කිව් ආඩපාලිය ඇහුණු මනමාල මහත්තයා ම ගේ ඇතුළට දුවගෙන ගිහින් කිරි හට්ටි හා කිරි කන බොකු පිඟන් මඟුල් මේසයට තැබුවේය.මාතරින් ගැහැනුන් ගන්නවා නම් වෙනත් දේවල් වගේම කනබොන විදිහද මාතරට ගැළපෙන විදියට කළොත් හොඳ විත්තිය මාතරින් කොළඹට ඇවිත් කනවා වෙනුවට ලෙවකමින් සිටින අප වගේ අයටත් හොඳ පාඩම්ය.
    
      මාතර රතු කැකුළු බත ගැන කියන විට මාතර හාමුදුරු නමකට දවල් බත වැරදී සිදුවුණු ඇබැද්දියට සම්බන්ධ සුප්‍රසිද්ධ කවි දෙබස ගැන නම් නොකියාම බැරිය.
සිද්ධිය මෙසේය.
    
        මාතර පළාතේ විසු විචිත්‍ර ධර්මකථික හාමුදුරු නමක් වු පරගොඩ හාමුදුරුවෝ තමන්ට සිදුවු ඇබැද්දියක් පිළිබඳව තම හිතවත් බැදිගම රතනපාල හාමුදුරුවන්ට මෙන්ම මේ කවිය ලියා එව්වේය.
     බයන කිස නොරිසි මැතිඳුගේ අයදුම   
   දෙණ බසුත් පිණිස වැඩ කෝදාගොඩ   
   බණ දෙතත් නැතුව උදයේ බුදින්න    
   තිණ පයන් වැඩිය කදිමයි මාතර         

   1983 දී මාතර මහා මන්තින්ද පිරිවන පිහිටුවා වදාළ මහා කවියකු වු බැදිගම රතනපාල මහා නායක හාමුදුරුවෝ ලියා යැවු කවි උත්තරය මෙසේය.

අප දියන වේරඤඤාවට         වරෙක
වැඩි ගමනා යදි බමුණුට මරු      වසෙක
නැත බුදිනා බත ලැබුණේ තුන්     මසෙක
සිඳු සිදෙනා කල ඇල කියනුම     කිමෙක
     මතු සම්බන්ධයි
20 Comments
Tweets
Fb Comments

20 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. වටිනා සටහනක් අලුත් අවුරුද්ද එක්ක හොඳට ගැලපෙනවා ගයනි ...
    ඔයාටත් පවුලේ හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ..!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මෙහි සඳහන් සමහර දේවල් මම කන්නේ නැති වුනත් ඉතා රසවත් ආරකින් ඔබ ලියන බව පෙනේ. ස්තුතියි

    ReplyDelete
  5. මේ ෆොටෝ එකේ ඉන්නේ ඔයාද නගෝ?

    ReplyDelete
  6. මාතර කට්ටිය කෑමට බීමට කෑදර බව නම් දැනේ.දන් කද තනියම කෑ සවුදම් ජෙමාද මාතර වැසියෙකු වියයුතුය.

    ReplyDelete
  7. මාතර කතා.... :D

    ඔයාටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් අක්කේ...

    ReplyDelete
  8. "මාතර බත් කඩේ" කියල නම දාපු කඩ වෙනත් පළාත් වල තියන්නෙත් ඒක නිසා වෙන්න ඇති. මී කිරි එක්ක බත් කන අය මාත් දැකල තියනවා. ඒ අය බත් එකටම දා ගන්නවා කිරි ටිකකුත්.

    රසවත් පෝස්ටුවක්.. :)

    ReplyDelete
  9. මොකද දරුවෝ හදිසියට ලියලද මාතෘකාව?

    ReplyDelete
  10. ඇඹුල් තියල් හදන ආකාරය ගැන පොඩි අදහස් දෙන්න බැරිද?

    ReplyDelete
  11. නහය හාර හාර ඉන්නෙ ගයනිද.

    ReplyDelete
  12. ඔය තරම් දේවල් කන්න තියෙද්දි අහවල් එකටෙයි හොටු කෑලී කන්නේ...

    ReplyDelete
  13. ගම මාතරෙයි???????

    ReplyDelete
  14. //විත්තිය මාතර බලවත්තු දනිති.//
    මෙතන බවලත්තු විය යුතු යයි සිතමි.

    මාතර බොහෝ අවස්තාව වල රාජකාරි වලට ගොස් ඇත්තෙමි. එවැනි විටක මාතර අය සමග ඉක්මනින් මුහු වන්නට මට හැකි වුයේ මාද දකුණු මුහුදු වෙරළාසන්න ගමක ජීවත් වූවෙකු නිසාය. තවත් දෙයක් මා අවුරුදු පහක් මුලින්ම කොළඹ නේවාසිකව ගත කලෙත් මාතර යුවලකගේ නිවසකය. එනිසා මාතර ආරෙට උයන කෑම මට හුරුය. කලක් මා තද මීකිරි ප්‍රේමියෙකු වී සිටියත් දැන් එතරම්ම මී කිරි කෑමට අවස්ථා නැත.

    ReplyDelete
  15. බොහොම හොද අදහස් ටික නගෝ, ලස්සනයි

    ReplyDelete
  16. නියම ලිපියක් අක්කා.මගේ කෑම රුචියත් වැඩි වුනා :)

    ReplyDelete
  17. Duwala gihin ithiri tikath balala ennam hariya. Awith komentuwak dannam Manju.
    Suja,,,,,

    ReplyDelete
  18. අපිට මෙච්චර කෑම ගැන කියලා ඇයි ඔයා මේ බීච් එකේ ඉඳන් නියපොතු කන්නේ... :)

    ReplyDelete
  19. බඩගිනි හැදෙන පෝස්ට් එකක්නෙ. රසවත්ව ලියල තියෙනවා

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...