Tuesday, January 8, 2013

කලියුගය

         
           කඳවුර ඇතුලත තිබෙන සිත නිවන බුදු කුටිය දෙසට යන විට මට මෙසේ හැඟි යන ලදි. සිතක වේදනාව තව සිතකට නොදැනෙන්නේ එහි රසය තිත්ත නිසාවෙනි. එහෙත් කෙනෙකු ගේ සතුට තව කෙනෙකුට දැනෙන්නේ එහි ඇති රසය මිහිරි නිසාවෙනි. සතුටට වඩා දුක මේ තරම් අසරණ සහ හුදකාලා වන්නේ ඒ නිසාවෙනි. එහෙත් ලෝකයේ එක්තරා පිරිසකට ඒ රසයන් සහ හදට දැනෙන රිද්මය ගුප්ත වු රහසකි. වෙනස් වු ශෛලයකින් උපදින සිතුවිලි අනර්ඝ වුත් සුන්දර වුත් වචන බවට පත් ව‍න්නේ පුදුමාකාර ලෙසටය.

යාමුනා මාලිනී ගේ පින්තුරය මෙතනින්
silumina.lk
යමුනා මාලිනි පෙරේරා ඔබ කවුරුත් දන්නා හඳුනන කිවිඳියකි.කතුවදන ඇය මේසේ සටහන් කර ඇත. “කාව්‍ය වනාහි බෙහෙවින් ම සංවේදී මෙන්ම ගැඹුරු හැඟිම් ප්‍රකාශනයෙහිලා හොඳම සහ ප්‍රබලම මාධ්‍යය” යැයි මට වැටහුණේ අදක ඊයෙක නොව කලකට ප්‍රථම මා ගුවන් විදුලියට ලියන අවධියේ සිටමය .ඇයගේ මතක සන්දේශය නම් කාව්‍ය කෘතිය මගේ සිත් ගත් පොත් ගුලට වැටුණු තවත් රත්තරං ගුලියකි. පොත් වලට මම ආදරය කරන්නෙ  එහෙමය. සංසාරයේ නොයකුත් මරමස්ථාන අර්ථ දක්වා ඇති අරුමය බලනු මැනවි.

ආශ්චර්යයක්‌ කරා යන ගමනේ හද සසල කරන සිද්ධින් වල නිමක් නැත. තවත් එක් දුක්බර කථාවක් හේතු කොට ගෙන මම මෙය ඔබට පිළි ගන්නවමි. ඇයට අයිති මෙම නිර්මාණ ඔබගේ රසස්වාදයට එක් කරමි.

මගේ සුන්දර ළමා කාලයේ එක්තරා කාල පරිඡ්ඡේදයක සිදු වු සිදු විමක් නිසාවෙන් මම බියටත් වේදනාවටත් පත් වු අවස්ථාවක් විය. එනම් මගේ පුංචි අම්මා අතින් උණු වතුර පොච්චිය ලිස්සා ගොස් මගේ කකුල් දෙකට වැටි දණ හිස දැඩි පිළිස්සුමකට ලක් වෙන ලදි. ඒ අවස්ථාව අදත් මතකයට නැ‍ඟෙන විට මට කලින් පුංචි ගේ දෙනෙත් තුල කඳුළු ගැට තෙරපෙනවා මම දුටිමි. බැඳිම් කියන්නෙ එහෙම සංවේදි බව කැටි වු යමක් නොවේද? ඇ‍‍ගෙ ලේත් මගෙ ලේත් එයම නිසා එහෙම වෙන්න ඇති. ගින්දරින් රත් වු ජල කඳ එසේ නම් ගින්දර කෙතරම් රිදුම් ඇත්ද කියා මට අමුතුවෙන් සිතිය යුතු නැත. එම සිදුවිමත් නැවත මතකකයට එක් කරමින් අපි කවුරුත් මවිතයට පත් කරමින් සිදු වු අහිංසක ළදරුවාගේ (ආදරණිය මවත් තම සහෝදරයාත් ඒ ගින්නේ පිළිස්සුනේ මළමිනි වු පසුවය) මරණයත් මගේ සිතේ හැම මොහොතකම දෝංකාර දෙයි. ඔවුන්ට වඩා වෙඳනාවක් ඔබට දැනෙන්න ඇති පුතේ...
ඔබට කෙසේ මෙම සිදු විම සිතෙනවාද කියලා මම නොදනමි. අත්විඳපු දුක්මුසු යමක් තව කෙනෙකුට වෙන්න ඒපා කියන මනසිකතත්වයක අපි තවම ඉන්නවා කියන මතයේ මම සිටිමි. එ මිනිසත්කම තවමත් අපි සතුව ඇත. ඒ පිං තමයි උපදින ඊළඟ භවයට අපි රැගෙන යන්නේ. ඔහුගේ පියා කර හදිය ඔහුද ඊළඟ භවයට රැගෙන යනු ඇත. පුංචි පුතේ නුඹත් නුඹේ අම්මා සහ අයියා පෙර භවයේ න් රැගෙන ආ අකුසල වෙන්න ඇති අපට බලන්නට ඉතිරි කළේ..මින් පසු උපදින කිසිදු භවයක එපා දෙන්න මෙවන් වේදනා තවකෙකුට. හිත්පිත් නැති නරුමයින්ගේ ගොදුරු බවට පත් වු සැමට සිදු වු අවාසනාවන්ත ඉරණම් ජිවත්ව සිටින අපිට ජිවිතය හසුරුවා ගැනිමට පාඩමකි. ජිවත්ව සිටින සෑම මිනිසෙකුටම ඉගෙන ගන්න යමක් ඉතිරි කරලයි ඔවුන් ජිවිතයෙන් සමු ගන්නේ.  එම සිද්ධීන් තුලින් කවුරුන් හෝ කෙනෙකු එහි විපාක අවබෝධ කර ගනිමින් වරදින් මිදෙනවා නම් එම පිං මහිමයෙන් සංසාරේ සැරිසරණ තුරාවටම මෙවන් වු සමු ගැනිමක් ඔවුන්ට අත්  නොවේවා!    




 යමුනා මාලනි පෙරේරා මහත්මියගේ පිදුම මෙසේ ය.

මට කිසි කෙනෙකු
නැති බව ලොව සිතෙන විට
නුඹ සිත පිරිමදියි
අම්මා කෙනෙකු ලෙස
කොහි හෝ තැනෙක
නුඹ ඇති තැනකට යන්ට
මේ කවි ස‍ඳෙස එවන්නෙමි
එය පිළිගන්ට........!

කලියුගය

අපටත් ඉඳහිට පාර කියු
පන්ථක නුඹහට කිමද වුණේ..........?
දිව්‍ය රතේ ගෙන
පියාඹලා ගිය
මාතලී ගෙ කෝ දිව්‍ය බලේ.......?
පාර වැරදිලා පන්ථක
පාර අසයි හැරී
මාතලීගෙ දිව්‍ය රතේ
කල්ප වෘක්ෂෙ වැදී........
කනේ ගසා
මොබයිලයක්
ඇත ඇමතුම් දිදී
ශ්‍රක්‍ර දෙවිඳුගෙත්
සෘද්ධි බල සිඳී
දිව්‍ය ලෝකෙ කොටු වේවි
සුදම් සභාවට යන්ට ප්‍රමාදව
මාතලීට බැණ වදී........


ජිවිතයේ අරුම

අහස හරි රළුවෙයි
මරණය වගෙම කළුවෙයි
සිත සොවින් ළතවෙයි
ගලා ආ ගංවතුර සිහිවෙයි......
රොන් මඩද පහරයි
ගං කුස යළීදු කෘශ වෙයි
ඉවුරු හකු හැකිළෙයි
මොහොතකට යළි
ගඟ නිසල වෙයි....

ගඟ විනිවිඳ පෙනෙයි
උල්දත් හනුද සෙලවෙයි
නිසල බව ගිලගත්
කිඹුල් කටවල් හෙමින් මතුවෙයි...

අහස යළි කළුවෙයි
මරණය සේම රළු වෙයි
සිත නමුදු නොසැලෙයි
නුඹෙන් ලද පන්නරය සිහිවෙයි....

ආදරය මනරම්
අභරණයකි නුඹ දුන්
නො සිට එය පළඳන්
අද අවිය ලෙස අතට අරගම්
නුඹගෙ - මගෙ දරුවන්
රැකිය යුතුවෙමි - මා ද රැකෙමින්.....

නුඹ රැකි පතිනිදම්
නුඹට මා රැකි පතිදම්
බලයෙකි බැඳි යදම්
එයය - පංචායුධය නුඹ දුන්

අහස යළි අඳුරුය
මරණය ලෙසම කඨොරය...
දන්නෙ මා විතරය
තවම නුඹ ජිවතුන් අතරය....! 

දුක්ඛ මුලය

ජිවිතයේ ලද අග්‍ර ඵලය ලොව
ආදරයක් යැයි කියනා දෙය නම්
ආදරයට දෙන කඳුළලි ඇත්නම්
ඒ සෙල්ලම හරි අවදානම්
රතින් රතට තොල් පොපියන
ඇසින් ඇස සණීන් ඇලලෙන
ජිවිතයක් දිහා බලන
තුන්වැනි ඇස කිමෙක්ද ලොව....
ආදරයම පමණක් වෙය...

සුළං පහරිනුදු සසැලෙන
කඳුළු උපන් තිඹිරි ගෙදර
මානවයාගේ බිහිදොර
ගිනි වළල්ල
නුඹ විඳි දුක් කදුළු වලින්
නිවාලන්න හැකිවෙයි නම්.....

නුඹෙ සිත නම් කන්ද මතට
සඳ වී මම ගොඩ වෙන්නම්
සඳ ලප නොව බල මැන - සඳ
මුදා හරින ආලෝකය
සුදා ධවල ආලෝකය....
මුලු මිහිතලයට සුව දෙන
සිහිල බෙදා දෙන අරුමය

වැස්ස වැටී උයනම
නැත්තට නැති වුනත් දිනෙක
මල් පෙතිවල පාට දහර

ගහ මුල නොවැටෙන අරුමය.......
සුළඟ ඇවිත් සුවඳ අරන්
උදුරා යන මුත් දස අත
මලේ සුවඳ පරවෙන තුරු
රැකිලා පවතින අරුමය.....

නන් පල මල් දරනා ගස
දෝතින් දෙපයින් දරමින්
පස යට සැඟවී ගෙන මුල්
දුක් විඳ හිනැහෙන අරුමය......


මුනිවත සහ පතිනිවත

හිමි ගමනක් ගොසින්
ගෙට ආ කලට සතොසින්
රවාගෙන දෑසින්
කුමක් මුමුණනුයේද රහසින්......?

    දරුවන් නැති කමද
    හැඬරුව මදියි සිතුණිද
    කියන් මා හිමි සඳ
    පෙරදි ආයාචනා නැත කැප

ළඳ බොළඳ ළඳකට
හිමිගෙන් තමා විමසුව
කල් ඉකුත් වී ඇත
කියයි යුද රිසි ඇගෙ යටි සිත

    ගහක් ගලක් සේ කරබාගෙන එ හිමි
    ඇගෙ රුඳු රොස් පරොස් කිසි බහකට නොනැමි
    හැරියොත් මුව විසක් පිට පනිතැයි බියෙනී
    සුන්දර පතිනිවත බිඳලනු නොරිසියෙනී

නවතම මොටෝ රථයට නැග ළඳක සහා
ගිය ගිය ගමන් මතකෙට නගයි වහ වහා
ඇගෙ කෙස් රොදක් කමිස බොත්තම් සිදුරෙ බහා
එබිකම් සුවඳ කිති දෙයි තව නැහැය පවා

    උයනක දැවටි දැවටි අත පටලෝලා
ඇගෙ පෙම් යුගත් මල් දම් සිත වට දාලා
අතරම් හොඳ හිමිත් දරුවොත් ගෙයි දාලා
ආ හැටි සිහිකරයි මනරංජන ලීලා

මුනිවත සුරකින තම හිමි
වෙත ඈ සිත යුදට නැමෙන
උදේ පටන් රෑ වන තුරු
මහන්සි නොබලා ඉටුකෙරු
කිසිවැඩකට නැති ගරු සරු
ලොවේ තව වෙද මෙවන් හිමිවරු

    ගහක් ගලක් සේ නොම ඉඳ
    වරද ඇතොත් මගේ නිබඳ
    කියන්න බැරි කරුණ කිමද
    හඬා වැටෙයි යළිදු බිරිඳ

අපගේ දාහත් වසරක
මහා ප්‍රේම කතන්දරය
ඉවරම වේගන එනවද
කියන්න බැරි ඇයි හිමිසඳ

    හොඳින් අසන ඈ ආයෙම
    රොස් පරොසින් හිමි අණවයි
    මුවින් නොබැණ එහිමි සිටියි
    ඉන් ඇගෙ තුන් සිත රිදවෙයි......!

ඇගෙ රුදු රොස් පරොස් කිසි කනකට නොගෙන
යළි ඇගෙ මුදු මොළොක් හැඟුමින්වත් නොසැලී
හැරියොත් මුව විසක් පිට පනිතැයි බියෙනී
සුන්දර පතිනිවත බිඳලනු නොරිසියෙනී
මුනිවත රැක සිටියි හේ තම නැණ පමණි.


 ගනිකාවගේ ගණිත ගැටලුව

කීයක් ආවදෝ පිරිමින් රවටන්ටා
තාමත් නමුත් අඹු දරු ඕනෑ උන්ටා
මා නිකමියකි උන් මුණේ දැළි ලන්ටා
තිබහට බී විතය ඔහෙ විසිකර ලන්ටා

මුඩුක්කුවෙ ඉඳුල් කන දුප්පතාණන්
සිටු මන්දාරේ සැප වළඳන සිටානන්
කවුරුත් එකය ගනුදෙනු සොඳ ලැබේ නම්
නුහුරුය අපට ගත මිස සිත කතා නම්

කීයක් ඇඟිලි සළකුණු සියොළඟ ඇතිද
මේ සක්වලෙහි ගණිනට ජගතෙකු නොමැත
ඒ සිත මත ලකුණු තැබු කිසිවෙකුද නැත
ආ පුත් ලකුණු සෝදා හැර ගියා මිස

කීයක් මඟුල් ලකුණත් මූණේ තියෙදැයි
කීයක් වයස...?කීයක් දරුනට පියදැයි
ඒවත් පැනද? මිස කීයක් දෙනවාදැයි
ඒ පව් මුද්‍රාව මහටම නොම වේදැයි

පින් මඳ කමට සිරි යහනක නොරන්දා
ඇතිමුත් නුඹ වේය මා ලොව රජින්දා
දුක් සැප අසන වෙන අඟනුන් කොයින්දා
මා නොවැ නුඹේ
නිල නොම ලත් බිරින් දෑ....!  

යමුනා මාලිනී පෙරේරා නම් කිවිඳියගේ කතුවදනේ තවත් සිතුවිල්ලකින් මගේ සටහන අවසන් කරමි.

කවියෙහි රසය හා අගය ඉස්මතු වන්නේ ‍බොහෝ විට එකම වදනකින් අරුත් කීපයක් ජනනය වන සොඳුරු බසක් අප සතුවන බැවිනි. දැනුදු මට එවන් කවක් මතක් වේ. ඒ කුමාරතුංග මුනිදාසයන්ගේ “වවුල් කොහුව” නිර්මාණයයි.

                   ගහට නොකොට කිසිවකු හට
                   ගහට පැමිණ නොවැ උගහට
                   රහට උරන රසය කහට
                   කහට නොවෙද පෙම ඔබ හට

එබඳු රසැති කවියට අද ගැහැට පැමිණෙන්නේ කවිය පල්ලම් බැස ඇති නිසා නොව කාව්‍ය රසිකත්වය උද්දීපනය කෙරෙන දේ අල්ප හෙයිනැයි මගේ අදහස යයි කියලා ඇය සඳහන් කර ඇත.

යමුනා මාලිනී පෙරේරා නම් කිවිඳියනි,තව තවත් ශක්තිය සහ නිරෝගිකම ඔබ සතු වේවා !අප සිත් සමනය කිරිමට අරුත්බර කවි,ගීත තුලින් 




10 Comments
Tweets
Fb Comments

10 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. කියෙව්වා... ඇත්තටම ආයිත් කියවන්න ඕන..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වීයා.කියවන්න.

      Delete
  2. නියමයි..... රසවත් පෝස්ට් එකක්..... මට ලස්සනට කවි ලියන්න බැරි වුනාට කවි කියවන්න ආසයි....

    ReplyDelete
    Replies
    1. සමනළි ස්තුතියි.

      Delete
  3. යමුනා අක්කා ගේ කවි වලට මාත් බොහොම ආදරේ කරනවා ගයනි. ඇයටත් මා හරිම කැමතියි. ඈ තුල මහා පුදුම අව්‍යාජ කමක් තියෙනවා. ඒ ගීත හරිම සුන්දරයි. ඒවා හදවතින්ම ලියවුන ගීත . ඒවාගේම පුලින තලාව ලියන පුෂ්පා අක්කාත් ඉතා හොඳ කිවිඳියක්. ඇගේ පොතුත් මා ලග තියෙනවා. මොකක්දෝ අවාසනාවකට ඈ අතින් දැන් ලියවෙන්නෙ හරිම අඩුවෙන්. බොහොම ආසාවෙන් කියෙව්වා මාත් කවි වලට ආදරය කරන නිසාම.

    ReplyDelete
    Replies
    1. චන්දී අක්ක ගේ වචන ටිකටත් බොහෝමත් ස්තුතියි.

      Delete
  4. ටිකක් දිග උනත් හොඳ අදහස් ටිකක් .. කෝ ඉතින් අපිට කවි පොත් ? මෙහෙම කියෙවුවොත් තමයි

    ReplyDelete
    Replies
    1. ඉතිරි ටිකත් දමන්න ඕන අංකල්.දිග වැඩි නිසා දැම්මෙ නැත්තේ.

      Delete
  5. අද පෝස්ටුව දුක්බරයි...දුකත් රසයක් කියන නිසා රසවින්දා...

    27 ගම්පහ එනවා නේද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සීරා.අනේ සිරා මම දැනට විශ්ව විද්‍යාල සිසුවියන්ගේ පුහුණුවට අනුයුක්ත කරලා ඉන්නේ.එත් කොහොම හරි එන්න බලනවා.

      Delete
Related Posts Plugin for WordPress, Blogger...