Showing posts with label මගේ මනස පින වු. Show all posts
Showing posts with label මගේ මනස පින වු. Show all posts

Thursday, August 29, 2013

දකුණු ලක සිරි



            පහත රට හැඩ කරන තවත් එක් සුන්දර පිහිටිමක් ලෙස කන්නෙලිය වැසි වනාන්තරය හැඳින්විය හැකිය. ගාල්ල ප්‍රදේශයට වැඩි නෑකමක් ඇති මෙම වන අඩවිය ගාල්ල නගරයට වයඔ දෙසින් පිහිටා ඇත. මාතරින් වුවද පිවිසිමට හැකි මාර්ගයක්ද ඇත. සිංහරාජය හැරුණු විට ඉතිරිව ඇති වන රක්ෂිතය මෙය වේ. ශ්‍රිලංකාවට පමණක් ආවේණික බොහෝ සතුන් ශාක මෙම ප්‍රදේශය තුලදී අපට දැක බලා ගැනිමට පුළුවනි. රක්ෂිතයට ඇතුළු වු මොහොතේ සිටම ඉන් පිට වන තෙක් ගතට දැනෙන සිසිලස පුදුමාකාර සුවයක් ගෙන දෙයි.




            එහි සුන්දරත්ව දැක බලා ගැනිමට යාම  සඳහා මඟ පෙන්වන්නෙකු ගේ සහය ලබා ගත යුතුය. මංපෙත තුළ මුලින්ම හමු වන්නේ ස්වාභාවික ජල තටාකයයි. මෙහි පැමිණෙන සංචාරකයින්ට ස්නායන කිරීමට අවශ්‍ය පහසුකම්ද සපයා ඇත. එහි යන සියල්ලෝම මෙම සුන්දර නානතොටුපලනින් වතුර බිඳක් හෝ ඇඟලා ගත යුතුය.
වෙනිවැල්


මෙම ගසේ කිරි ඉතාමත් විෂය බඳුල්ල කිරි ඇසිඩ් සදා ගැනිම සඳහා භාවිතා කරයි








වල් ඌරෝ කැකුණ තලන විට හබන් කැකුලට රජ මඟුල් ලු


බාඳුරා
            වැදගත් කරුණක් කිව යුතුය. එනම් පසේ ඇති තෙත් ස්වාභාවය නිසා කුඩැල්ලන්ගෙන් නම් බහුලය. ඒ නිසා කකුල් වල ඇඟිලි කරු තුල සිද්ධාලේප වැනි යමක් තවරාගෙන යාමට මතක තබා ගත යුතුය. අපේ අක්කලා නංගිලා නම් මෙම ජිවියාට බිය වෙයි. ඒ නිසා ආරක්ෂිතව යාම වඩාත් සුදුසුය. එහෙත් මෙම නාන තොටුපල ට යන මාර්ගයේ නම් කුඩැල්ලන් නැත. එය මහත් අස්වැසිල්ලකි. 
            
            නාන තොටුපල පසු කර ප්‍රධාන මංපෙතෙහි ඉදිරියට යන විට එහි දෙපස ඇති තෙත් කලාපීය ද්විතියික වනාන්තර පද්ධතියක අසිරිය විඳිමින් යාමට හැකිය.මිටර් 600 ක් පමණ ගිය විට ගල්ලෑලි දොළ හමු වේ.මෙම ස්ථානයේදී ප්‍රාථමික යුගයේ ශාක බොහෝමයක් දැකිය හැකිය.
පළමු ගිමන්හල   
         
            මෙම ස්ථානයේදී වෙනිවැල් බහුලව දැකිය හැකිය.රාත්‍රි කාලයේ සංචාරය කරන්නේ නම් උණුහපුලුවන් සහ ඇතැම් උභයජිවි විශේෂ දැක ගත හැකි වනු ඇත.
උමං මාර්ගය
උමං මාර්ගයට ඇතුළු වන ස්ථානය

            ස්වාභාවික ගල් ගුහාවක් තුළින් ගමන් කිරීමට ලැබිම ඔබට නැවුම් අත්දැකිමක් වනු ඇත.මෙහිදී වවුලන් විශේෂ හා උභයජිවින් විශේෂ රාශියක් දැකගත හැකිය. මෙම ලෙන තුළ පවතින අන්ධකාරය හා සිසිලස ඔබට අත්විඳිය හැකිය.
දෙවන ගිමන්හල


            මෙය මහල් දෙකකින් අලංකාර ලෙස දේශිය අමුද්‍රව්‍ය භාවිතයෙන් නිමවන ලද්දකි. මෙහිදි අපගේ විඩාව සංසිදුවා ගැනිමට හැකි වන අතරම, විවිධ පක්ෂි විශේෂ දැක බලා ගැනිමට ද හැකිවනු ඇත.
ලෑලි පාලම

            ප්‍රධාන මංපෙතෙන් හැරි අනගිමල්ල ඇල්ල දෙසට ගමන් කරන විට හමුවන දියපහර තරණය කිරීමට දැව යොදාගෙන ඉදිකරන ලද්දකි.
අනගිමල ඇල්ල

අනගිමල ඇල්ල

            ලෑලි පාලම පසුකර ඉදිරියට ගමන් කරන විට අතීතයේ දැව ප්‍රවාහනය කිරීමට භාවිතා කරන ලද මාර්ග දැක බලා ගත හැකි අතර, එවකට තිබු වෘක්ෂයන් කපා ඉවත් කළ නොහැකිව නැවත පරිසරයට ම එක්වී ඇති අයුරු ද ඔබට දැක බලා ගත හැකිය. ඉතාමත් දැකුම්කළු ලෙස ගල්කුළු අතරින් ගලා බසිනා අනගිමල ඇල්ල දැක බලා ගත හැකිය. මෙම ඇල්ල නැරඹිමට අලංකාර වේදිකාවක් නිමවා ඇති අතර, එහි සිටම ඇල්ලේ අසිරිය විදීමට පහසුකම් සලසා ඇත. තවද ඉතාමත් පරිස්සමින් ඇල්ල ආසන්නයට ගොස්ද එහි සිසිලස විඳ ගැනිමට හැකියාව ඇතිමුත් බොහෝම කල්පනාවෙන් ගල් අතර මාරුවිය යුතුය. ලිස්සා ගොස් ජල පහරට අසුවි ගසාගෙන යාමට හැකි බැවින් සංචාරයම ඛේදවාචකයක් කරනොගෙන සුන්දරත්වය අත්විඳින්නේ නම් මැනවි.
            යෝධ පුස්වැල්ල,මැස්ස මුඳුන,වැටකොළුහේන් දොළ,තවත් ගිමන් හලක් වන නවඳපියස, ගිමන් හල යන ස්ථානයන් පසු කොට නවඳපියස ගිමන්හලට මිටර් 150 ක් පමණ ප්‍රධාන මංපෙතෙන් බැහැරව නන්නිකිත ඇල පසු කර ඉදිරියට ගිය විට වගුරු සහිත භුමියක මෙම විශාල නවඳ ශාකය හමු වේ.මෙය වසර 250 ක් පමණ පැරණිය. ඉරුරාජ,එනසාල් වැනි ශාකද මෙහි ඇත.පැරණි ගොඩනැඟිලි සංකිර්ණය, මිල්ලගහ දොළ,නන්නිකිත පියස ගිමන්හල,තිරුවාන කන්ද,නාරංගස් ඇල්ල ගිමන්හල ද පසු කර යන විට සංචාරයේ අවසාන මංපෙත වන නාරංගස් ඇල්ල හමු වේ. එය අඩි 200ක් පමණ උසකින් යුතු වන අතර වැසි සහිත කාල වලදී තවත් දැකුම්කලුය. 


  • මෙම වන රක්ෂිතය පිළිබඳව අපව දැනුවත් අඩවි වන නිළධාරින් සියළුම දෙනාට ස්තුති කරන්නෙමු.
Read More

Friday, July 5, 2013

හද නගන සෝ සුසුම්.........................






හද නගන සෝ සුසුම් වැල්
නෙතු රැඳුණු කඳුළු බිඳු වැල්
ඔබේ ආදරේ නිසාවෙන්
මා හද සසල කළ සැමරුම්...........

ජිවිතයට දහසක් බලාපොරොත් දී  හිටි ගමන් නික්ම යාම මගේ සිතට වාවන්නේ නැ. මාව දමා යන්න තරම් අපි අතර සිදු උනේ කුමක්ද? මම, මටත් වඩා ඔයාව විශ්වාස කරා. මගේ අතින් වැරැද්දක් උනත් ඔබේ අතින් එහෙම දෙයක් වෙන්නේ නැ කියලා හිතුවා. හැම වේලාවකම ඔබේ උපදෙස් අවවාද මගේ ජිවිතය සාර්ථක කර ගන්න උදව් උනා. කිහිප සැරයක් මාව වරදින් මුදවා ගත්ත. දිනෙන් දින මගේ හිතේ බලාපොරොත්තු ඇති උනා. එක් අවස්ථාවක ඔයාට මම කිව්වා මතකද මට වඩා හොද කෙනෙක් ඔයාට ලැබෙන්නේ ඕන කියලා. ඒ තරමටම ඔයා හොඳ කෙනෙක්. ටිකෙන් ටික මම ජිවිතය ගැන සැලසුම් කරන්න පටන් ගත්තා. ඔයාගෙන් ඉගෙන ගත් දෙවල් බොහෝය. ඒ දෙවල් මතක් වෙන කොට මට හරි ලෝභයි. ඇයි අපට දෛවය මේතරම් සරදම් කරේ. දෙවියෝ මාව  මැව්වේ ඔයා වෙනුවෙන්  කියලා ඔයා දවසක් කිව්වා. ඒ සොඳුරු මතකයන්  නැවත නැවත මගේ සිත සසල කරනවා.


හිත කීරිගැහී සැළුනා ඔය අමුතු කතාවෙන්
නෙතු  නුඹ සොයාන ඇඳුනා මා හදටත් රහසින්
දස දහස් හැඟුම් පිපුනා හිත් කොනක හෙමි හෙමින්
මේ හිත කඩාන වැටුනා ඔබ ඇයි දුරක ගිහින්.............
තුන් හිතකින්වත් මම නොසිතු වඳන් ඔබේ මුවින් පිට වෙද්දී ....? ඔයා සොයමින් නොගිය තැනක් නැ. හදවත ඒපා කියද්දී මේ දැස් ඔයාව දකින්නට වෙහෙසුනා. ඒ තරම් ආදරයක් මේ දෙනෙත් තුල තවමත් තියෙනවා. හිතේ කොනක සැඟවුණ පැතුම් තවමත් එලෙසම ඔයා එනකම් බලා හිදිනවා. ඔයත් සමඟ ජිවිතය බෙදා ගන්න මම පෙරුම් පිරුවා.. අසරණකමක්ද මාව දමා යන්නට ඔයාට තිබුණේ. කියන්න මාව මෙතරම් හඩවන්නේ නැතිව. හිත හදා ගන්නට මගෙන් යන්න හේතුව කියන්න.

ඉරි තැළුණු නියන් පොළොවට වැහි බිඳුවක් වැටෙන්න
ආදරේ මිරිඟු සයුරේ තව එපා මා දමන්න
කිරි කෝඩු හිතට මෙතරම් බැහැ තවත් දුක් දරන්න
ආදරෙන් තව එක වරක් ඔබ හිනා වෙලා යන්න.............
තවමත් මේ හිත ඔයාට පමණයි අයිතියි. සිහින ලොවක අතරමං නොකට එන්න නැවතත් ඔයා වෙනුවෙන් හදවත බලාගෙන ඉන්නවා. දුක් විඳලා පුරුදු නැ මට. එන්න තවත් දුක් නොඳි. එක වරක් හෝ ඇවිත් බලලා යන්න. අපි ඇවිද ගිය තැන් අද පාළුට ගිහිං. එක් වරක් කියන්න මට මොකද්ද මාව දාල යන්න හේතුව බබී. අමනාපයක් නැ මම ඔයත් එක්ක. මේ හිත හදා ගන්න එක වචනයක් කියන්න.ඒ ඇති මට. මගේ බබී...........කුරිරු සිහිනය එතැකින් නිමා විය. මුළු ගතම දහාඩියෙන් තෙත් වී තිබුණි. පෙරදා ඔබත් සමඟ ඇති වු පුංචි අමනාපයක් සිතේ තබාගෙන නින්දට ගිය මම, භායානක සිහිනයක ගිලුණි.පසුව  එතැන් සිට නොනිදා රැය පහන් කළේ සිතුවිලි දහාසක් අතර මා සිත රඳවාගෙනය. තවද පසුදින ඔබව හමු වි සමාව ගන්න අදිටනින්ය. 

ගායනය :- උමේෂ් ඉසුරු දිසානායක.
පද රචනය :- අසංකා දිල්හාරි වැල්පිටිය.
තනුව :- සහන් ලලින්ද පෙරේරා.

විරහාව සිහිනයක් පමණක් වේ  නම්..... ඒත් ඉතිං අකුරු දමා වචන ගළපා හැඩ දැම්මත් ප්‍රායෝගිකව එය එසේ සිදු නොවන්නකි.  විවිධ සිතුම් පැතුම් තුල ජිවත් වන අපි,එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීමට මත්තෙන් තමන්ගේ සිතුම් සඵල කර ගැනිමට කැමැත්තෙමු. ආදරය තුලද විරහාව ඇත්තේ ඒ නිසාවෙනි. 
සෑම හමුවිමක්ම විවාහයෙන් කෙළවර වන්නේද නැත. මොන යම් හේතු කාරණාවක් නිසා වෙන්විමට සිදුවන අවස්ථා සුලභය. අපි ඒ යථාර්තය තේරුම් ගත යුතුය. එහෙත් අපි මොහොතක් කල්පනා කළොත් බොහෝ ශක්තිමත් බැඳිම් පවා පුංචි හේතුවක් නිසාවෙන් වෙන් වෙන තැනටම දුර ගොස් ඇත. විවාහ විමට මත්තෙන් තිබු සුන්දර සංවේදි සිත විවාහයෙන් පසුව කුරිරු ස්වභාවයන්ට පත් වන්නේ සිත ක්‍රියා කරන ආකාරයට වේ. මිනිස් සිත නිදහස්ය.එම නිසා සිතේ හට ගන්නා සිතුවිලි වලටද නිමක් නැත. විවාහයට පෙර තිබු සංවේදී හිතම තමයි තවතමත් ඇත්තේ. වෙනස් විමට ලක් වි තිබෙන්නේ සිතුවිලි පමණයි. ඉතිං ඒ සිතුවිලි වලට පණ දෙන්නට ඕනෑම දෙයක් පරිත්‍යාග කිරීමට සිත හැඩ ගැසෙති. මම මුලින් පැවසුවා සේ තම තමන්ගේ සිතුම් පැතුම් කෙරෙහි උනන්දු විම තුල අනෙකුත් සෑම දේම අමතක කර දමන ස්වභාවයක් ඇති වේ.විරහා ගීත මේ තරම් අපේ හඳවත් වලට ලෙනගතු වන්නේ ඒ නිසාවෙනි.
මම ඔබට අසන්නට සලස්වන මේ ගීතය තුලද ඇත්තේ “විරහාවය”. පරාජිත අහිමි පෙමක විලාපයයකි. එහෙත් මෙම ගීතය මුලින්ම මා දෙසවන් වැටෙන විට මම මහත් ලෙස ඒ ගීතය තුල ජිවත් විය. ගීතයට පණ පොවන්නා මේ ගීතය හඳවතින්ම ගායනා කිරීම නිසා  එහි ඇති වේදනාව වඩාත් හදවතට දැනෙයි. එපමණක් නොව මෙහි තනුවට මම ඊටත් වඩා ඇළුම් කරමි. ගීතයට අනුව පරාජිත ප්‍රේමයක් වුවත් දෙසවන් වැකෙන විට තව කෙනෙකුට ආදරයක් දැනෙන ලෙස පද රචනය, තනුව, සහ ගායනය නිර්මාණය වි ඇත. විරහාවක් උනත් බොහෝම සන්සුන්ව ගයානා කිරීම නිසා දුකකට වඩා දෙයක් හදවතට දැනේයි. එහෙත් සමහරක් ගීත ගායනා කරන විට හිතට ඇති කරන්නේ වෛරක් සහ තරහවක් පමණකි. එහෙත් මේ ගීතයේ මට එවැනි හැඟිමක් ඇති නොවේයි. සමාජයට ගෙන යන පණිවිඩක් සෑම විටම සාධාරණ විය යුතුය. කුමක් වුවත් සමාජය එය වැළඳ ගන්නා බැවිනි. ඒනිසා නිතරම පණිවිඩය උපදෙසක්, ආදර්ශයක් විය යුතුය. එකම වැරැද්ද තව කෙනෙකු කරන්නට පොළඹනවා වෙනුවට එය ඇසිමෙන් දැකිමෙන් එය වරදක් බව තමන්ට අවබෝධ විය යුතුය. එපමණක් නොව ඒ දේ වැරැද්දක් බව පිළිගෙන එය තමන් අතින් සිදු නොවිය යුතුය යන මානෂිකතත්වටය පත් කරලිමට හැකි විය යුතුය. වැදගත් වන්නේද එයමය. විරහාව වේදනාවක්,  ඒ දුක අපි තවත් හදවතකට දීය යුතුද?

ගීතයක් ගායනා කළ පමණින් එහි පැවැත්ම රඳ පවතින්නේ නැත. තනු නිර්මාණය බොහෝ සේ එයට බලපානු ඇත. ගීතයේ පද වල තිබෙන විරහාව සන්සුන් කිරීමට ගී තනුවකට හැකිය. මෙම ගීතයේ වචන ටිකටද ඕනෑම තනුවකට නිර්මාණය කළ හැකිය. එය ගහගන්නා ස්වභාවයකට තනුව දමා ගායනා කළා නම් සමහරක් විට මේ තිබෙන සන්සුන් බව වෙනුවට  සිතේ වෛරයක් තරහාවක් ඇති කරලිමට හැකිය. ගීතයක වටිනාකම සහ සර්ථකත්වය රඳා පවතින්න බොහෝ විට එම ගීතයේ තනුව බලපානු ඇත.


“ජනප්‍රියත්වයට වැඩි අවස්ථාවක් ලබා දිම නිසාවෙන් අපි අතින් ගිලිහි යන දේ බොහෝය.”
Read More

Monday, June 10, 2013

නිමා නොවන සිරිලක සුන්දරත්වය


     සෝබා අයිලන්ඩ් (Sober Island) යනු ශ්‍රි ලංකාවට අභිමානයක් ගෙන දුන් තවත් එක් උරුමයකි. ඵෛතිහාසික වශයෙන් ජාතික වස්තුවකි. සාමුද්‍රිය වශෙයන්ද අපට තිබෙන වැදගත්ම පුරාවස්තුවකි. තවද ත්‍රිකුණාමලය වරායටද ඉතා වැදගත්කමක් ලබා දිමට මේ කුඩා දුපතට හැකි වි ඇත. තවද එහි භුගෝලීය පිහිටිම සෝබා අයිලන්ඩ් දුපතට මහත් වටිනාකමක් ගෙන දි ඇත. එය  වරාය කටයුතු සඳහා අත්‍යවශ්‍ය වු පිහිටිමකි. එහි පිහිටිම සෑම අතකින්ම අනර්ඝය. ඒ බවක් අතීතයේ අපේ ඇත්තන්ට වඩා අපි යටත් කර ගැනිමට පැමිණි සෑම ජාතීයක්ම දැන සිටින ලදි. බටහිර ආක්‍රමයන්ට එදා මෙන්ම අදත් අපි නතු වෙමින් පවති. ඔවුන් අපේ රටෙන්  නික්ම ගියද අපේ රට පිළිබඳව ඇති කරගත් කෑදරකම නම් පහව ගොස් නැති බවක් පෙනෙන්ට තිබෙන කාරණාවකි.  ඒ කෑදරකම තව තවත් බලාපොරොත්තු සහිත සිහිනකයක් බවට පත් කරලිමට අපි ලබා දුන් සහ තවමත් ලබාදෙන සවිය නම් පාපයකි.




එදා ඔවුන් භාවිතා කර ටෙනිස් පිටිය












වර්ථමානයේ දෙපැත්තකට බෙදී අපි අපිම  ඇණකොටා ගනිද්දී එහි වාසිය සහ ලාභය සම්පුර්ණයෙන් විදේශීය බලවේගයන් වෙත ලැබෙණු ඇත. අපේ රට පිළිබඳව කැක්කුමක් අපට නැත. එහෙත් මේ රටේ පිහිටිමේ ඇති වැදගත්කම විදේශිකයින් අධ්‍යයනය කර හමාරය. එම නිසා ඒ උගුසු ඇස් නිරන්තරයෙන් මෙරට සිදුවෙන සෑම සිදුවිමක් දෙසම යොමු කර ඇත. අසරණ වු ලක්මතාව විජාතීයන්ගේ කෙණහිලිකම් අදත් ඉතාමත් ඉවසිමෙන් දරා ගනිති. ඒ ඇගේ නිහමානිකමය. ඈ හැදිච්ච විදිය වේ. ඒ විදියට හැදෙන්න අපි අපොසත් විය. ඒ සියල්ලම ඉවසා සිටියත් ඇය දුක් වන්නේ මෙරට ඉපදී මෙරට විදේශිකයින්ට පවා දෙන ශ්‍රි ලාංකීකයන් පිළිබඳවය. මහත් කරුමයක් සහ අපලයක තවමත් ලක් මතාව ගෙවමින් සිටින්නීය. අද ඉපිද හෙට මැරෙන යන සිතුවිල්ලක සිට අපි මෙ ගෙවන ජිවිත කෙතරම් නම් අභාග්‍ය සම්පන්නද? රටට කුමක් වුවත් මම ජිවත් වන කාලය මට සුරපුරයක් කර ගැනිමට හැකි පරිදි ඕනෑම තීරණයක් ගන්න පුළුවන් මනසක් සදාගෙන ඇත.

මේ රටේ උරුමයන් දැක ගැනිමේ විශාල කැමැත්තක සහ සිහිනයක සිටින මා, එම සිහිනය විටින් විට සෑබැ කර ගැනිමට උත්සහා කරන්නෙමි. ඒ සිහිනය සැබෑ වු තවත් එක් අවස්ථාවක් ලෙස සෝබා අයිලන්ඩ් වෙත පා තැබු දිනය හැදින්විය හැකිය. එය මම අඩම්බරයෙන් යුතුව සිහිපත් කරන්නෙමි.

සෝබා අයිලන්ඩ් දුපතේ වැදගත්කම කාලයෙන් කාලයට වෙනස් වේ. එල්.ටී.ටී.ඊ යුධ සමයත් සමඟ වෙරළ ආරක්ෂා කිරීමේ ජාලයක් ලෙස භාවිතා කරන ලදි. තවද එහි පිබිදිම සිදු වි ඇත්තේ මිට වසර 400 කට පමණ ප්‍රථමය. ප්‍රංශ ජාතීකයින්ට රාජසිංහ රජු විසින් 1672 මැයි මස 28 වන දින මෙම ගාම්භිර දුපත ඇතුළු තවත් වටිනාම සම්පතක් වු ත්‍රිකුණාමලය වරායද ගිවිසුමකින් ලියා දෙන. විජාතීන් හට ත්‍රිකුණාමලය වරාය  අත්පත් කරගැනිම සඳහා විශාල ලෙස උපකාරි වු දුපතක් ලෙසද මෙය හැදින්විය හැකිය. ඒ වගේම ඔවුන්ගේ නාවික කටයුතු, භට පිරිස් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී අතර මැදි කඳවුරක් ලෙසද, භට පිරිස් රඳවා තැබිම,  සැපයුම් මධ්‍යස්ථානයක් සහ බර අවි ස්ථාන ගත කිරීම සඳහාද මෙම භුමිය යොදා ගෙන ඇත. දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය ජාතීකයින්ගේ පෙරදිග නිවාසය බඳු වි ඇත. බ්‍රිතාන්‍ය ජාතීකයින් විසින් වරින් වර නිපද වු නව බර අවි  නැවත නැවත මේ ස්ථානයේ ස්ථාගන ගත කොට ඇත. මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙසද මේ ස්ථානය භාවිතා කර ඇත. විටෙක ලන්දේශින් විටෙක ඉංග්‍රිසින් මේ භුමිය අත්පත් කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගෙන ඇත.  ඔවුන් මෙරට යටත් කර ගැනිමට මුලික සැකසුම් සැකසු තවත් එක් භුමියක් ලෙසද මෙම කුඩා දුපත හැදින්විය හැකිය. එකල සිංගප්පුරුවේ බිඳවැටිමත් සමඟ මෙහි වටිනාකම තවත් වැඩි වි ඇත. බ්‍රිතාන්‍ය ජාතිකයින් ජපානයත් සමඟ  යුද්ධය කිරීමේදී මෙම භුමිය වඩාත් ප්‍රයෝජනයට ගෙන ඇත. 1942 දී ජපානය විසින්ද මෙම දුපත ආක්‍රමණය කර ඇත. තවද ආතීතයේ ලාදුරු රෝගින් මෙම දුපත තුල රඳවා තබා ඇත. වර්තමානයේ  අපි භාවිතා කරන සමහරක් තක්ෂණික ක්‍රම ඔවුන් විසින් එදා යොදා ගනිමින් මේ භුමියේ නොයෙකුත් ක්‍රියාකරම් සිදු කොට ඇති බවට සාක්ෂි අදට ඉතිරිව ඇත. එම ස්ථානයට පා තබන ඕනෑම කෙනෙකුට ඒ බව දැක ගැනිමට පුළුවනි.

 ඒ භුමිය තුල ගත කරන කාලය ගතටත් සිතටත් මහත් සිසිලසක් ඇති කරයි. 

ඔබට අවශ්‍ය තවත් විස්තර මෙතනින් ලබා ගන්න.


Read More

Saturday, April 27, 2013

විඩාබර දෛනික චර්යාවෙන් මොහොතක් ඈත් විය


        දින කිහිපයකට පෙර තවත් එක් දිනක් සොදුරු දිනයක් ලෙස නිමාවට පත් කිරීමට මට හැකි විය. මම වර්ථමානය හැඩ කරන්නේ ත්‍රිකුණාමලය ප්‍රදේශය තුලය. මෙම ප්‍රදේශය තුල පවතින දේශගුණික තත්වය පිළිබඳව  අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් වේගවත් ක්‍රොන්ක්‍රිට් සංවර්ධනයක් සිදු වෙමින් පවතින කොළඹ ප්‍රදේශයට වඩා මෙහි උෂ්ණත්වය මට නම් සිසිලසකි. තවමත් මෙහි තිබෙන ගහකොළ අපට අවශ්‍ය සිසිලස ලබාදෙයි. එම නිසා ස්වභාවධර්මය විටෙක අපිට හරස් වන විට විටෙක අපිට රැකවරණය ලබා දෙයි.

කොනේශ්වරම්
     


ඇතැම් පෙම්වතුන් දිවි නැති කර ගත් ස්ථානයකි













     මට සිතෙන පරිදි වර්ථමානයේ ත්‍රිකුණාමලය නගරයට තිබෙන වටිනාම සම්පත කොනේශ්වරම් කෝවිලයි.. ත්‍රිකුණාමලය නගරයේ සිට ක්‍රි.මි. 2 ක් පමණ දකුණු දෙසට වන්නට පිහිටා ඇති මෙම පුදබිම ජාතී ආගම් භේදයකින් තොරව ලෝකවාසී බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වෙති. බෞද්ධ ජනතාවගෙන් බහුතරය මෙම පුදබිම වන්දනාමන කිරීමට ප්‍රධාන හේතුවක් වනුයේ පුරාණයේ ඒ කියන්නේ කොනේශ්වරම් කෝවිල ඉඳිකිරීමට ප්‍රථම බෞද්ධ විහාරයක් මෙම ස්ථානයේ තිබුණු බවට ඇති විශ්වාසය මතය.

          ඒ කෙසේ වෙතත් අධ්‍යාත්මික සුවයක් උදෙසා තම හදවතින් සහ පිරිසිදු චේතනාවෙන් සිදු කරනු ලබන වන්දනාමානයෙන් ලැබෙන ආශිර්වාදයත් ශක්තියත් තමන්ගේ යහ පැවැත්මට රුකුලකි. අවශ්‍ය වන්නේද එයම වේ. කුමන හෝ විශ්වාසයකින් ගොඩනැඟෙන සහ උපදින සිතුවිලි ප්‍රයෝගික ජිවිතයට සහ බහුතරයගේ ප්‍රයෝජනයට යහපතක් වේ නම්, එහි තිබෙන අතීත සිදුවිම් අපි අමතක කරමු. මම විශ්වාස කරන දෙවියන් අපි කා හටත් පිහිට වෙති. අවශ්‍ය වන්නේ තම පිරිසිදු චේතනාව දෙවියන් ඉදිරියේ මෙනෙහි කිරීම පමණි.

          කොනේශ්වරම් කෝවිලට ඇතුළු වන ප්‍රධාන දොරටුව නිර්මාණ කර තිබෙන ආකාරයට බස් රථ එම දොරටුවෙන් ඇතුළු කිරීමට නොහැකිය. ඒ ගැන සිතිමටවත් දුක් විමටවත් අවශ්‍ය නැත. බස් රථය ඒ අසල පිහිටි රථ ගාලේ නතර කර පා ගමනින් ඒ අවට සුන්දරත්වය විඳිමින් ගමන් කිරීම අස්වාදජනකය. තවද එම පිවිසුම් දොරටුව කෙතරම් නම් රටට වටිනාකමක් ගෙනෙන කෞතුක වස්තුවක්ද යන්න සේයා රූ දුටු විට හැඟෙණු ඇත.

          මිටර් 800 ක් පමණ දුරක් ගෙවා යන විට මඟ දෙපස තිබෙන සල්පිල් තුලින් ඇසෙන මියුරු රාවයන් සිත සතුටු කරයි. ඒ මන්දයත් එක් පසෙකින් ඇසෙන මිහිරි පිරිත් සජ්ගායනාද අනෙක් පසෙන් දෙසවන් පිනවන දමිළ ගිතීකාද නිසාවෙනි. එය හිතට ළඟාකරන්නේ සියුම් සැනසුමකි. කෝවිල උදෑසන 1100 පැයේ සිට පස්වරු 1300 පැය දක්වා විවෘත නොතබයි. 



උණුදිය ළිං






     
        ත්‍රිකුණාමලය නගරයේ සිට ත්‍රිකුණාමලය වව්නියාව මාර්ගයේ ක්‍රි.මි. 18 ක් පමණ දුරක් ගෙවා ගිය විට කන්නියාව නම් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම උණුදිය ළිං දැක ගැනිමට හැකිය. පැමිණෙන බොහෝ පිරිසක් මෙම ළිං තුල තිබෙන ජලයෙන් ස්නායනය කරයි. හරි විනෝදයි. තවද එම ප්‍රදේශයන්ට ආවේණික නොයෙකුත් කෑම බිම අපි වෙනුවෙන්ම සැදි පැහැදි සිටියි. 












වෙල්ගම් වෙහෙර

     උණුදිය ළිං නැරඹිමෙන් පසු තවත් ක්‍රි.මි. 5ක් පමණ වව්නියාව දිශාවට වන්නට පිහිටා ඇති ඓතිහාසික මෙම පිංබර පුදබිම දැක ගැනිමට හැකිය. එම මාර්ගයේ දෙපස ඇස ගැගෙන විට නම් හිතට දැනෙන්නේ සංවේගයකි. හිත්පිත් නැති ත්‍රාස්තවාදීන් විසින් කෘර ලෙස විනාශ කර ඇති ප්‍රදේශයකි. අතීතයේ මෙහි බෞද්ධ සිංහල, දමිළ, මුස්ලිම්, සිංහල කතෝලික සහ දමිල බෞද්ධ බොහෝ මිනිසුන් ජිවත් වු  ප්‍රදේශයකි. එදාත් අපි සංවර්ධනය වෙමින් පවතින රටකි. අදත් අපි සංවර්ධනය වෙමින් පවතින රටකි. එහෙත් වෙල්ගම් වෙහෙර වැනි පුජනීය බිම් තුල පිහිටා ඇති නිර්මාණයන් දෙස බැලු කල කිසි විටෙකත් නොහැඟේයි, පුරාණයේ මෙම දේශය සංවර්ධනය වෙමින් පැවති බවක්. එදා අපි සංවර්ධිතය. එහෙත් වර්ථමානයේ අපි සංවර්ධනය වෙමින් පැවතිම සත්‍යයකි. වර්තමාන මිනිසා තුල පිහිටා ඇති කුහකකම සහ මමත්වය නිසාවෙන්ම අද අපි පරාජිත ජාතීයකි. එදාත් යුද්ධ තිබුණේය. එහෙත් එදා වැසියන්  මව්වත් ගුණයන්ගෙන් පෝෂිත රටට ආදරය කළ ජාතියකි.

      වෙල්ගම් වෙහෙර පිළිබඳව තව දුරටත් හඳුන්වනවානම් නැගෙනහිර බොදු උරුමයේ මුදුන් මල්කඩය. එසේ පැවසිම වරදක් නැතැයි එහි යන ඕනෑම අයෙකුට හැඟෙනු ඇත. අනුරාධපුරය යුගයේ මුල්ම බෞද්ධ ශ්‍රේෂ්ඨ නරපතියා වු දේවානම්පියතිස්ස රජතුමා විසින් දෙතිස් ඵලරුහ බෝධි අංකුරයක් රෝපණය කරවීමෙන් මෙම විහාරය කරවු බව වංශ කතාවල කියවේ.
     
       ඉන්පසු පළමුවන බාතිය, දෙවන අග්බෝ, පළමුවන විජයබාහු, පළමුවන පරාක්‍රමබාහු වැනි ශ්‍රේෂ්ඨ නරපතියන් විසින් වරින් වර මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කළ බව සෙල්ලිපි සාක්ෂි දරයි.
     
   10 වන සියවස අගභාගයේ දී රජරට සොළී පාලනයට යටත්ව පැවති යුගයේ බෞද්ධ වෙහෙර විහාර සොලින් විසින් කෘෘ ලෙස විනාශ කරනු ලැබුවත් සොලීන් ආරක්ෂා කළ එක් විහාරයක් තිබිම ඉතිහාසඥයන්ගේ මවිතයට හේතුවී තිබේ. ඒ වෙල්ගම් විහාරයයි.
     
      මීට හේතුව වෙල්ගම් රජමහා විහාරය අසල වෙල්ගම් බලකොටුවේ දෙමළ බෞද්ධයෝ සිටීමයි.
     
      පොළොන්නරු යුගයේ ලක්දිව ශ්‍රේෂ්ඨතම විහාරයක් බවට වෙල්ගම් වෙහෙර පත්ව තිබුණි. නමුත් කොට්ටේ යුගය වන විට රජරට මෙන්ම වෙල්ගමද අලි, වලසුන්ගේ ක්ෂේම භුමියක් බවට පත්විය.
    
 අනුරාධපුර පොලොන්නරුව දඹදෙනි රාජ සමයෙහි බොදුනුවන්ගේ මුදුන් මලකඩ වු වෙල්ගම් රජමහා විහාර සංකිර්ණය හා මනාවතු නුවර අද නටඹුන් වී ඇති අයුරු සංවේගයෙන් අපට සියැසින් දැකිය හැක.
    
  මහජන ආධාරය මත යැපෙන තත්වයට පත්ව ඇති වෙල්ගම් රජමහා විහාරය සහ වෙල්ගම් වෙහෙර ගම්මානය නැවත ගොඩනැඟිමට ගරු විහාරධිපති හිමියන් අප්‍රමාණව වෙහෙසක් දරයි.
මෙම හරවත් මෙන්ම වටිනා විස්තර මා හට ලබා දුන් උන්වහන්සේ ගෞරවපුර්වකව සිහිපත් කරමි! සියලු සත්වයෝ සුවපත් වෙත්වා! එය ගරු විහාරධිපති හිමියන් ගේ ප්‍රර්ථාවයි!

ගරු විහාරධිපති,
අමරපුර මහා නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ
ප්‍රධාන සංඝනායක අම්පිටියේ සීලවංස තිස්ස ස්ථවිර,
කන්නියාව,ත්‍රිකුණාමලය














ඔසු පැන් සදා දෙන මේ මව්තුමිය තුල පිහිටා තිබෙන මව්වත් ගුණ මෙහි යන එන හැමෝගේම හදවත් වලට දැනෙයි









වෙල්ගම් වෙහෙර ජනතාව මේතරම් වෙහෙසෙන්නේ



  

 

෴ජිවන ගමනේ තවත් එක් අමරණීය දිනක් එසේ නිමා විය෴
Read More
Related Posts Plugin for WordPress, Blogger...