Saturday, April 27, 2013

විඩාබර දෛනික චර්යාවෙන් මොහොතක් ඈත් විය


        දින කිහිපයකට පෙර තවත් එක් දිනක් සොදුරු දිනයක් ලෙස නිමාවට පත් කිරීමට මට හැකි විය. මම වර්ථමානය හැඩ කරන්නේ ත්‍රිකුණාමලය ප්‍රදේශය තුලය. මෙම ප්‍රදේශය තුල පවතින දේශගුණික තත්වය පිළිබඳව  අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් වේගවත් ක්‍රොන්ක්‍රිට් සංවර්ධනයක් සිදු වෙමින් පවතින කොළඹ ප්‍රදේශයට වඩා මෙහි උෂ්ණත්වය මට නම් සිසිලසකි. තවමත් මෙහි තිබෙන ගහකොළ අපට අවශ්‍ය සිසිලස ලබාදෙයි. එම නිසා ස්වභාවධර්මය විටෙක අපිට හරස් වන විට විටෙක අපිට රැකවරණය ලබා දෙයි.

කොනේශ්වරම්
     


ඇතැම් පෙම්වතුන් දිවි නැති කර ගත් ස්ථානයකි













     මට සිතෙන පරිදි වර්ථමානයේ ත්‍රිකුණාමලය නගරයට තිබෙන වටිනාම සම්පත කොනේශ්වරම් කෝවිලයි.. ත්‍රිකුණාමලය නගරයේ සිට ක්‍රි.මි. 2 ක් පමණ දකුණු දෙසට වන්නට පිහිටා ඇති මෙම පුදබිම ජාතී ආගම් භේදයකින් තොරව ලෝකවාසී බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වෙති. බෞද්ධ ජනතාවගෙන් බහුතරය මෙම පුදබිම වන්දනාමන කිරීමට ප්‍රධාන හේතුවක් වනුයේ පුරාණයේ ඒ කියන්නේ කොනේශ්වරම් කෝවිල ඉඳිකිරීමට ප්‍රථම බෞද්ධ විහාරයක් මෙම ස්ථානයේ තිබුණු බවට ඇති විශ්වාසය මතය.

          ඒ කෙසේ වෙතත් අධ්‍යාත්මික සුවයක් උදෙසා තම හදවතින් සහ පිරිසිදු චේතනාවෙන් සිදු කරනු ලබන වන්දනාමානයෙන් ලැබෙන ආශිර්වාදයත් ශක්තියත් තමන්ගේ යහ පැවැත්මට රුකුලකි. අවශ්‍ය වන්නේද එයම වේ. කුමන හෝ විශ්වාසයකින් ගොඩනැඟෙන සහ උපදින සිතුවිලි ප්‍රයෝගික ජිවිතයට සහ බහුතරයගේ ප්‍රයෝජනයට යහපතක් වේ නම්, එහි තිබෙන අතීත සිදුවිම් අපි අමතක කරමු. මම විශ්වාස කරන දෙවියන් අපි කා හටත් පිහිට වෙති. අවශ්‍ය වන්නේ තම පිරිසිදු චේතනාව දෙවියන් ඉදිරියේ මෙනෙහි කිරීම පමණි.

          කොනේශ්වරම් කෝවිලට ඇතුළු වන ප්‍රධාන දොරටුව නිර්මාණ කර තිබෙන ආකාරයට බස් රථ එම දොරටුවෙන් ඇතුළු කිරීමට නොහැකිය. ඒ ගැන සිතිමටවත් දුක් විමටවත් අවශ්‍ය නැත. බස් රථය ඒ අසල පිහිටි රථ ගාලේ නතර කර පා ගමනින් ඒ අවට සුන්දරත්වය විඳිමින් ගමන් කිරීම අස්වාදජනකය. තවද එම පිවිසුම් දොරටුව කෙතරම් නම් රටට වටිනාකමක් ගෙනෙන කෞතුක වස්තුවක්ද යන්න සේයා රූ දුටු විට හැඟෙණු ඇත.

          මිටර් 800 ක් පමණ දුරක් ගෙවා යන විට මඟ දෙපස තිබෙන සල්පිල් තුලින් ඇසෙන මියුරු රාවයන් සිත සතුටු කරයි. ඒ මන්දයත් එක් පසෙකින් ඇසෙන මිහිරි පිරිත් සජ්ගායනාද අනෙක් පසෙන් දෙසවන් පිනවන දමිළ ගිතීකාද නිසාවෙනි. එය හිතට ළඟාකරන්නේ සියුම් සැනසුමකි. කෝවිල උදෑසන 1100 පැයේ සිට පස්වරු 1300 පැය දක්වා විවෘත නොතබයි. 



උණුදිය ළිං






     
        ත්‍රිකුණාමලය නගරයේ සිට ත්‍රිකුණාමලය වව්නියාව මාර්ගයේ ක්‍රි.මි. 18 ක් පමණ දුරක් ගෙවා ගිය විට කන්නියාව නම් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම උණුදිය ළිං දැක ගැනිමට හැකිය. පැමිණෙන බොහෝ පිරිසක් මෙම ළිං තුල තිබෙන ජලයෙන් ස්නායනය කරයි. හරි විනෝදයි. තවද එම ප්‍රදේශයන්ට ආවේණික නොයෙකුත් කෑම බිම අපි වෙනුවෙන්ම සැදි පැහැදි සිටියි. 












වෙල්ගම් වෙහෙර

     උණුදිය ළිං නැරඹිමෙන් පසු තවත් ක්‍රි.මි. 5ක් පමණ වව්නියාව දිශාවට වන්නට පිහිටා ඇති ඓතිහාසික මෙම පිංබර පුදබිම දැක ගැනිමට හැකිය. එම මාර්ගයේ දෙපස ඇස ගැගෙන විට නම් හිතට දැනෙන්නේ සංවේගයකි. හිත්පිත් නැති ත්‍රාස්තවාදීන් විසින් කෘර ලෙස විනාශ කර ඇති ප්‍රදේශයකි. අතීතයේ මෙහි බෞද්ධ සිංහල, දමිළ, මුස්ලිම්, සිංහල කතෝලික සහ දමිල බෞද්ධ බොහෝ මිනිසුන් ජිවත් වු  ප්‍රදේශයකි. එදාත් අපි සංවර්ධනය වෙමින් පවතින රටකි. අදත් අපි සංවර්ධනය වෙමින් පවතින රටකි. එහෙත් වෙල්ගම් වෙහෙර වැනි පුජනීය බිම් තුල පිහිටා ඇති නිර්මාණයන් දෙස බැලු කල කිසි විටෙකත් නොහැඟේයි, පුරාණයේ මෙම දේශය සංවර්ධනය වෙමින් පැවති බවක්. එදා අපි සංවර්ධිතය. එහෙත් වර්ථමානයේ අපි සංවර්ධනය වෙමින් පැවතිම සත්‍යයකි. වර්තමාන මිනිසා තුල පිහිටා ඇති කුහකකම සහ මමත්වය නිසාවෙන්ම අද අපි පරාජිත ජාතීයකි. එදාත් යුද්ධ තිබුණේය. එහෙත් එදා වැසියන්  මව්වත් ගුණයන්ගෙන් පෝෂිත රටට ආදරය කළ ජාතියකි.

      වෙල්ගම් වෙහෙර පිළිබඳව තව දුරටත් හඳුන්වනවානම් නැගෙනහිර බොදු උරුමයේ මුදුන් මල්කඩය. එසේ පැවසිම වරදක් නැතැයි එහි යන ඕනෑම අයෙකුට හැඟෙනු ඇත. අනුරාධපුරය යුගයේ මුල්ම බෞද්ධ ශ්‍රේෂ්ඨ නරපතියා වු දේවානම්පියතිස්ස රජතුමා විසින් දෙතිස් ඵලරුහ බෝධි අංකුරයක් රෝපණය කරවීමෙන් මෙම විහාරය කරවු බව වංශ කතාවල කියවේ.
     
       ඉන්පසු පළමුවන බාතිය, දෙවන අග්බෝ, පළමුවන විජයබාහු, පළමුවන පරාක්‍රමබාහු වැනි ශ්‍රේෂ්ඨ නරපතියන් විසින් වරින් වර මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කළ බව සෙල්ලිපි සාක්ෂි දරයි.
     
   10 වන සියවස අගභාගයේ දී රජරට සොළී පාලනයට යටත්ව පැවති යුගයේ බෞද්ධ වෙහෙර විහාර සොලින් විසින් කෘෘ ලෙස විනාශ කරනු ලැබුවත් සොලීන් ආරක්ෂා කළ එක් විහාරයක් තිබිම ඉතිහාසඥයන්ගේ මවිතයට හේතුවී තිබේ. ඒ වෙල්ගම් විහාරයයි.
     
      මීට හේතුව වෙල්ගම් රජමහා විහාරය අසල වෙල්ගම් බලකොටුවේ දෙමළ බෞද්ධයෝ සිටීමයි.
     
      පොළොන්නරු යුගයේ ලක්දිව ශ්‍රේෂ්ඨතම විහාරයක් බවට වෙල්ගම් වෙහෙර පත්ව තිබුණි. නමුත් කොට්ටේ යුගය වන විට රජරට මෙන්ම වෙල්ගමද අලි, වලසුන්ගේ ක්ෂේම භුමියක් බවට පත්විය.
    
 අනුරාධපුර පොලොන්නරුව දඹදෙනි රාජ සමයෙහි බොදුනුවන්ගේ මුදුන් මලකඩ වු වෙල්ගම් රජමහා විහාර සංකිර්ණය හා මනාවතු නුවර අද නටඹුන් වී ඇති අයුරු සංවේගයෙන් අපට සියැසින් දැකිය හැක.
    
  මහජන ආධාරය මත යැපෙන තත්වයට පත්ව ඇති වෙල්ගම් රජමහා විහාරය සහ වෙල්ගම් වෙහෙර ගම්මානය නැවත ගොඩනැඟිමට ගරු විහාරධිපති හිමියන් අප්‍රමාණව වෙහෙසක් දරයි.
මෙම හරවත් මෙන්ම වටිනා විස්තර මා හට ලබා දුන් උන්වහන්සේ ගෞරවපුර්වකව සිහිපත් කරමි! සියලු සත්වයෝ සුවපත් වෙත්වා! එය ගරු විහාරධිපති හිමියන් ගේ ප්‍රර්ථාවයි!

ගරු විහාරධිපති,
අමරපුර මහා නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ
ප්‍රධාන සංඝනායක අම්පිටියේ සීලවංස තිස්ස ස්ථවිර,
කන්නියාව,ත්‍රිකුණාමලය














ඔසු පැන් සදා දෙන මේ මව්තුමිය තුල පිහිටා තිබෙන මව්වත් ගුණ මෙහි යන එන හැමෝගේම හදවත් වලට දැනෙයි









වෙල්ගම් වෙහෙර ජනතාව මේතරම් වෙහෙසෙන්නේ



  

 

෴ජිවන ගමනේ තවත් එක් අමරණීය දිනක් එසේ නිමා විය෴
Read More

Wednesday, April 24, 2013

සුභ බක් පුර පසළොස්වක මංගල්‍යයක් වේවා!




       බක් මස අයිති පුංචි දරුවන්ටය. එම නිසා අද පිංබර බක් පසළොස්වක යේ බ්ලොග් ලොවට සෑම විටම අරුත්බර සහ නැවුම් බවක් ලබා දෙන


  • එතෙර සිටින මාගේ සහෝදරයන් වන් ඩොක් අයියාගේ සහ අක්කාගේ ආදරණිය දියණියට සහ පුතුන්ටත්

  • ඇවිද්ද පය ලියන සුදීක අයියාගේ සුරතල් දියණියටත්,

  • සමකය වටේ ලියන නලින්  අයියාගේ ආදරණීය දියණියටත්

  • අත්තම්මගේ පෙට්ටගම ලියන ලොකු ජොන් අයියාගේ පුංචි දියණියටත්

  • එදිනදා ජිවිතය ලියන සහන් අයියාගේ ආදරණිය දියණියටත්

  • කතන්දරකාරයාගේ ආදරණිය දියණිය ඇතුළු

     බ්ලොග් ලොවට අරුත් ගෙනෙන අනෙකුත් සියළුම බ්ලොග් හිමිකරුවන්ගේ සහ හිමිකාරියන්ගේ ආදරණිය දරුවන්ටත්

යහපත් පැහැබර දිනක් උදාවේවා! ඔවුන් ඉලක්ක කරන සියළුම යහපත් කරුණු කරණා ඔවුන්ගේ සිතැඟි පරිදි සාර්ථක කර ගැනිමට අවශ්‍ය සියළුම ධෛර්‍ය,ශක්තිය,අශිර්වාදයන් නිරතුරුවම ඔවුන් වටා ඇති වේවා!ලැබේවා!


තවද අප සියළුම දෙනා එකතු වි මෙසේද ප්‍රර්ථනා ගෙන එමු.

මෙම පිං බිමේ  ඉපිද, එහෙත් අම්මා තාත්තා ගේ රැකවරණය ගිලිහුණු සියළුම දරුවන්ට කුමන රැකවරණයක් ලැබි රටටත් ජාතියටත් වැඩදායි පුරවැසියෙකු විමට මඟ සැලසේවා!!! 
 


තෙරුවන් සරණයි!
ඇස් දෙක මගේ හොඳ දෙයේහි ගැටේවා. තිස්සේම සම්බුදු ගුණ සිහි වේවා!
Read More

Thursday, April 18, 2013

රතු කැකුළු හාලේ බත්,මාළු ඇඹුල් තියල් සමඟ උදේ,දවල්,රාත්‍රී කෑමට


සමරසිංහ ගුණසේකර නම් සුන්දර මනුෂ්‍යයාගේ දැනුමේ සහ අත්දැකිම් වල එකතුවකින් උපන් අපේ ගම මාතර නම් කෘතියේ තවත් කොටසක් ඔබේ රසවින්දනය සඳහා  මම මෙසේ අකුරු කරමි.

   -රතු කැකුළු හාලේ බත්,මාළු ඇඹුල් තියල් සමඟ උදේ,දවල්,රාත්‍රි කෑමට- නැමති මෙම කොටස කෙතරම් නම් රසවත්ද කියා මට වඩාත් දැනෙන්නේ එහි තිබෙන රසය අදටත් අපි භුක්ති විඳින බැවිනි. එම නිසා ඒ කොටස තුල තිබෙන සෑම වචනයකටම මම ඇලුම් කරමි.

      අපේ කම පිළිබිඹු වන තවත් රසබර කොටසකි. රතු කැකුළු හාලේ බත්, මාළු ඇඹුල් තියල් සමඟ උදේ, දවල්, රාත්‍රි කෑමට මේ වගේ දැන්විම් පුවරු ඇති හා නැති මාතර බත් කඩ, මාතර හෝටල්, මාතර ආපන ශාලා ලංකාවේ ලොකු කුඩා ඕනෑම නගරයක දකින්නට පුළුවන. ලංකාවේ විතරක් නොව වෙනත් දේස දීපංකරවලද වෙන එකක් තියා මාතර සිට කිලෝ මිටර් තුන් ලක්ස අසු හතර දහස් හාර සියයක් දුරින් පිහිටි හඳේදද මාතර මුදලාලි කෙනෙකු මාතර හෝටලක් දමාගන සිටිනවා යැයි 1960 දී හා පුරා කියා හඳට ගොඩ බැස්ස නීල් ආම්ස්ට්‍රොං මහත්තයා කියා තිබෙන විත්තිය ඒ දවස්වල පත්තරවලද පළවී තිබුණේය.
ඒ පිළිබඳව කථාව එහෙමම තිබියදී අපි රතු කැතුළු බතේ රසය, හා එක්වෙමු.

      අපේ රටවැසියන්ගේ ප්‍රධානතම ආහාරය බත වුණත් මේ බත උයාගන්න සහල් හා බත් උයන විදිය ආදිය පිළිබඳවත් මේ පුංචි රටේ නා නා ප්‍රකාර වෙනස්කම් තිබෙන බව කවුරුත් දනිති. කොළඹ පළාතේ වාගේ උඩරට හා වෙනත් පළාත්වල වැඩිපුර කන්නට ගන්නේ තම්බා කොටාගත් හාල්වලින් උයන බතයි.
මාතර රතු කැකුළු බතට කොටා ගන්නා සහලට වී තම්බා ගැනිල්ලක් නැත. ඒ නිසා බත අලුත්ය. කිරි රසය. කුරුට්ට ද රතු පාටට දිලිහි දිලිහි තිබේ. දියවැඩියාකාරයින්ට කුරුට්ටත් එක්ක රතු හාල් බත් හොඳ යැයි දොස්තර මහත්වරුනුත් රෙකමදාරු කළාට පසුව මාතර රතු කැකුළු හාලට ඉල්ලුම වැඩිවී, කොළඹ පළාතේ සුදු හාල් ද රතුපාට කර විකුණන තැන්ද තිබුණත් මාතර මිනිස්සු ඉස්සර සිටම කෑවේ රතු කැකුළු හාලේ බත්ය.

අතීතයේ රතු හාලේ බතක් උයා ගත් ආකාරය පිළිබඳව කතුවරයා හරි අපුරුවට කියා දි ඇත.
       මුලින්ම කරන්නේ සහල් කුල්ලෙන් පොලා පසුව නෑඹිලියෙන් සහල් ගරා ගැනිමයි. නියෙමට කැකුළු බතක් ඉදෙන්නට නම් පදමට වතුර තැබිය යුතුමය. බවලත් අය හැමදාමත් මැද ඇඟිල්ල තියා පදමට වතුර තියන නිසා බවලත් අයට චංගුලි පඤ්ඤා යැයි නමක්ද පටබැඳ තිබේ. ඒ එසේ මෙසේ තැනක නොව බුදුන් දවස විසු බවලත් අය ගැන ලියු ථේරි ගාථාවලය. තුන්සිය හැටපස් දවසෙම හාල්වලට පදමට වතුර තියන කොට මැද ඇඟිලි දෙකෙන් වතුර මනින නිසා ද, ඇඟිලි දෙකෙන් බත් ඇට පොඩි කරන්නේ නැතුව බත ඉදුණා දැයි කියන්නට බැරි නිසා ද ඇඟිලි දෙකේ නුවණැත්ති හෙවත් චංගුලි පඤ්ඤා යැයි නමක් පටබැඳ තිබෙන විත්තිය ථේරි තතාවේ තික නිපාතයේ සෝමා ථේරි ගාථාවේ දැක්වේ.

      හරි පදමට වතුර නොතිබ්බොත් එක්කෝ වතුර වැඩි වි බත බෙරි වෙන්නටද එහෙම නැත්නම් වතුර මදි වී බත රොස් වන්නට හෝ ඇට්ටකුණා වන්නටද ඉඩ තියෙන විත්තිය මාතර බලවත්තු දනිති.
පදමට වතුර තැබු බත ළිපේ තියා නිකම් බලාගෙන සිටියොත් හාමතේ ඉන්නට සිදුවන විත්තිය ද මාතර ගැහැණු දනිති. ඒ නිසා පදමට ගින්දර අඩු වැඩි කිරීම, බත ඉදීගන එනකොට කැඳ වතුර බේරා හැඳි කුරෙන් හැඳි ගා මඳ ගින්නේ බත ඉදෙන්නට තැබිය යුතුය. බත ඉදුණාට පසු බත් වට්ටියේ දමා බත නිවා නොගත්තොත් බත ලඩ වෙන්නට ඉඩ තිබේ.

කැඳ කිව්වම මටත් පුංචි දෙයක් මතකයට නැඟුණාය. අපි පුංචි කාලේ අපේ අම්මා බතෙන් බේරා ගත් කැඳ වතුර  අපිට පොවයි.
      කැකුළු බත් ගැන එහෙම ලියවෙද්දී මාතර ඇඹුල් තියල් ගැනද නොකියම බැරිය.

මඩොල් දූවේ උපාලි ගිනිවැල්ල,ධර්මසිංහ ඉස්කොල මහත්තයාගේ ගෙදර නවත්වා සිටි කාලයේ හොරෙන් පැන ගිහින් බල ඔරුකාරයන් එක්ක මුහුදු ගිය වෙලාවේ පොල් සම්බලත් බලමාළු ඇඹුල් තියලත් එක්ක උදේට  කෑ බත මාර්ටින් වික්‍රමසිංහ මහත්තයට මතක් වෙන්න ඇත්තේ පොත ලියන කාලයේ කොළඹ පදිංචිව හිටියත් පුංචි කාලේ කොග්ගල දී කෑ බල මාළු ඇඹුල් තියල් මතක් වෙලා වෙන්නට ඇත.
මාතර අය මාළුවක් කියන්නේ මුහුදෙන් නැත්නම් ගඟෙන් අල්ලාගත් මාළුනවන්ට විතරය. උයාගත් එළවළුවකට මාතර අය වෑංජනයක් කියා කියනවා මිසක් මාළුවක් කියා කියන්නේ නැත. සමහර අයට කරිජ්ජෙන් ඇල්ලුවත් මිරිජ්ජෙන් ඇල්ලුවත් කොයි මාළුවත් මාළුය. මාතර අයට කිරට, මිරිසට ඇඹුලට, ඇඹුල් තියලට, හොද්දට ඉස්ටුවට ඔබින මාළු ජාති එකකට එකක් වෙනස්ය.

       ඇඹුල් තියලට ගන්නේ බල මාළුය. එහෙම නැත්නම් අලගොඩුවන්ය. ඒ දෙකම නැත්නම් ඇටවල්ලන්ය. ඒත් නැත්නම් කෙලවල්ලන්ය. කොළඹ අයට බොහෝම වටිනා කියන තෝර මාළු මාතර අයට කිරට උයන ලෙඩුන්ට ගැළපෙන මාළුවකි. යකඩ ඇනයා හෙවත් කලවැන්නා, හුරුල්ලා,  අලගොඩුවා, බලයා, ඇටවල්ලා, කෙලවල්ලා මිරිසට ඇඹුලට ගැළපෙන ලේ මාළුය.

     කොළඹ අයට සාලයා වගේ මාතර අපේ පොදු ජනයාගේ මාළුවා ලාග්ගාය. කොයි මාළුව කෑවත් කොරඹුරු මාළු කනවිට බොහෝම පරෙස්සම් වෙන්න ඕනෑ විත්තිය මාතර මිනිස්සු දනිති.උණ ගහේ මල් හැදෙන කාලෙට කොරඹුරු මාළුව කනවා නම් හොඳට සුද්ද බුද්ද නොකර කෑවොත් කාපු මාළුත් එක්කම වැලිගං යන්නට වෙන විත්තිය මාතර මිනිස්සු දනිති. ජපානයේ ද මේ වගේ විස එත් බොහොම රස මාළුවෙකු සිටින විත්තිය සූප සාත්තර පොත්වල තිබේ.මේ ජපන් කොරඹුරුවාට ජපන්නු කියන්නේ Fugy කියාය.
    
     මිරිජ්ජ මාළු හරි කරිජ්ජ මාළු හරි ගැන කියන විට ලුනිජ්ජ මතක් වී කටට කෙළ උනයි. බලයා ,හුරුල්ලා වගේ කරිජ්ජ මාළුවකට පදමට ලුණු ,ගොරකා දමා හදාගන්නා ජාඩිවල ඉස්මට කියන නම ලුනිජ්ජය. ලුනිජ්ජ දමා හදාගත් පොල් මැල්ලුමක් එක්ක තම්බාගත් කොස් කිව්වාම වංකොස්,අටුකොස් වගේ නොයෙකුත් කොස් ජාති තිබුණත් මේ කිව්වේ පදමට පැහැණු හෙරලි කොස් ගැනය.
    ඇඹුල් තියල වගේම මාතර මී කිරි හා කටුවන කිතුල් පැණි ගැනත් කථා නොකරොත් අඩුපාඩුවකි.
    
 අපේ කතෘතුමා මීකිරි ගැනද මෙසේ ලියා ඇත.
        තිස්සමාරාමය, අම්බලන්තොට වගේ පළාත්වලින් ගෙන එන මීකිරි හැරෙන්නට මාතර අවට ගම්වලද මී දෙනුන්ගේ කිරි දොවාගෙන මිකිරි සාදා ගනිති.
    
         හාල් කිරි, ජුල් කිරි, කිරල කිරි වගේ තවත් නා නා ප්‍රකාර කිරි ජාති කන මාතර මිනිස්සු මීකිරි කන විදියේ අහුපැවතක් ද තිබේ.
    
        අනික් කොයි කවුරුත් පොල් පැණිත් එක්ක නැත්නම් කිතුල් පැණිත් එක්ක නැත්නම් සිනිත් එක්ක මීකිරි කෑවත් මීකිරි කන විට මාතර කට්ටියට රතු කැකුලු බත් මිටක් මුහුකර ගන්නට ඕනෑය. බත් එක්ක වගේම හබල පෙති එක්කත් මාතර අය කිරි කති. ඒ වගේම තම්බපු කොස් ටිකක් එහෙම නැත්නම් කිරි හොදි ටිකක් එක්ක එහෙම නැත්නම් මාලු හොදි ටිකක් එක්කත් කිරි කන්නට කැමතිය.
     
        මාතර මිනිස්සු ඉස්සර කිරි කෑවේ ලොකු බොකු පිඟන්වලය.යමක් කමක් ඇති තැනක මඟුල් ගෙදරක නම් ඉස්සරහ කෑමට එක පිඟානයි. බත් කන්න එක පිඟානයි. කිරි කන්න බොකු පිඟානයි ලෙස මඟුල් මේසයේ පිඟන් තට්ටු තුනකි. එක කිරි හට්ටිය දෙදෙනෙකුට සෑහේ. වැඩිම වුණොත් තුන් දෙනෙකුටය.
     
       වරක් කොළඹ පැත්තේ මනමාලයෙකු මාතර පැත්තේ මනමාලියක් කැඳවාගෙන ආ මග ගමනට මමද එකතු වුණෙමි.මාතරින් ගෙනා කද මල්ලේ කටුවන කිතුල් පැණි මුල් තුන හතරක්ද මීකිරි හට්ටි දහයක්ද දොළහක්ද තිබුණේය. දවල් මංගල භෝජනයෙන් පසු අතුරුපසට තිබුණේ මාතරින් ගෙනා මීකිරි ය. ඒත් කිරි දමා තිබුණේ කොළඹ පන්නෙට පළතුරු සලාද නැත්නම් අයිස්ක්‍රිම් කන්නට ගන්නා පුංචි බුද්ධ පුජා කෝපපලවය.
     
       මොකද මේ? බුද්ධ පුජාවද? මාතරින් ආපු කෙනෙක් කිව් ආඩපාලිය ඇහුණු මනමාල මහත්තයා ම ගේ ඇතුළට දුවගෙන ගිහින් කිරි හට්ටි හා කිරි කන බොකු පිඟන් මඟුල් මේසයට තැබුවේය.මාතරින් ගැහැනුන් ගන්නවා නම් වෙනත් දේවල් වගේම කනබොන විදිහද මාතරට ගැළපෙන විදියට කළොත් හොඳ විත්තිය මාතරින් කොළඹට ඇවිත් කනවා වෙනුවට ලෙවකමින් සිටින අප වගේ අයටත් හොඳ පාඩම්ය.
    
      මාතර රතු කැකුළු බත ගැන කියන විට මාතර හාමුදුරු නමකට දවල් බත වැරදී සිදුවුණු ඇබැද්දියට සම්බන්ධ සුප්‍රසිද්ධ කවි දෙබස ගැන නම් නොකියාම බැරිය.
සිද්ධිය මෙසේය.
    
        මාතර පළාතේ විසු විචිත්‍ර ධර්මකථික හාමුදුරු නමක් වු පරගොඩ හාමුදුරුවෝ තමන්ට සිදුවු ඇබැද්දියක් පිළිබඳව තම හිතවත් බැදිගම රතනපාල හාමුදුරුවන්ට මෙන්ම මේ කවිය ලියා එව්වේය.
     බයන කිස නොරිසි මැතිඳුගේ අයදුම   
   දෙණ බසුත් පිණිස වැඩ කෝදාගොඩ   
   බණ දෙතත් නැතුව උදයේ බුදින්න    
   තිණ පයන් වැඩිය කදිමයි මාතර         

   1983 දී මාතර මහා මන්තින්ද පිරිවන පිහිටුවා වදාළ මහා කවියකු වු බැදිගම රතනපාල මහා නායක හාමුදුරුවෝ ලියා යැවු කවි උත්තරය මෙසේය.

අප දියන වේරඤඤාවට         වරෙක
වැඩි ගමනා යදි බමුණුට මරු      වසෙක
නැත බුදිනා බත ලැබුණේ තුන්     මසෙක
සිඳු සිදෙනා කල ඇල කියනුම     කිමෙක
     මතු සම්බන්ධයි
Read More
Related Posts Plugin for WordPress, Blogger...